ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා දරන ලද සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වී තිබේ. තවමත් එකී කෘර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ අන්දමින්ම ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් සතුටු වන පාර්ශ්වයන් අනෙක් පාර්ශ්ව දෙකටම කටින් අත වසාගෙන හිනා වෙනවා ඇත.

විද්‍යුත් විකාශන නියාමනය සම්බන්ධයෙන් ද මේ වන විට රඟදැක්වෙන්නේ ද එම නාට්‍යයමය. නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ.

මේ සියල්ලෙන්ම කරන්නට උත්සාහ කරන්නේ විකාශන මාධ්‍ය නියාමනය මේ අවස්ථාවේදී ද නැවත කඩාකප්පල් කර, පවත්නා තත්වය තවදුරටත් ආරක්ෂා කරගන්නටයි. පවත්නා තත්වය යනු කුමක්ද? පහත දැක්වෙන්නේ පවත්නා තත්වය පිළිබඳ කෙටි විස්තරයකි.

ඇමති අවසරය මත පෞද්ගලික අංශයට රේඩියෝ විකාශ කළ හැකි බව 1966 අංක 37 ගුවන් විදුලි සංස්ථා පනතේ 44 වගන්තියේ දැක්වේ. පෞද්ගලික අංශයට රේඩියෝ විකාශන බලපත්‍ර ලබාලීම ආරම්භ වූයේ එසේය. ඇමතිවරයා බලපත්‍ර නිකුත් කරන ආකාරය, වැඩසටහන් අධීක්ෂණය , හිමිකාරිත්වය, ගාස්තු ආදිය ගැන නියෝග ගැසට් කළ යුතු වන මුත්, මේ දක්වා ම එය සිදු කර නැත.

1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ද සමාන විධිවිධාන තිබේ. පසු කලෙක සම්පාදනය කරන ලද එම පනත අනුව, ඇමතිවරයාට අධික බලතල ප්‍රමාණයක් හිමි වී තිබෙන බව ද, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් 1966 ගුවන් විදුලි සංස්ථා පනතට වඩා 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත පසුගාමී බව ද විශ්ලේෂකයෝ පවසති.

2019 වසරේදී එවකට නිකුත් කර තිබුණු රේඩියෝ හා ටෙලිවිෂන් බලපත්‍ර ගැන අධ්‍යයනයක තොරතුරු නිකුත් කරමින් නීතීඥ ජගත් ලියනආරච්චි පෙන්වා දුන් පරිදි ඒ වන විට රේඩියෝ විකාශන බලපත්‍ර 25ක් නිකුත් කර තිබිණි. ඒවා ඉතා අවිධිමත් වූ අතර 22ක්ම තාවකාලික පදනම මත නිකුත් කර ඇති බව ද බලපත්‍ර තුනක ඒවා වලංගු කාලය ගැන සඳහනක් නැති බව ද නීතීඥ ජගත් ලියනආරච්චි පෙන්වා දුන්නේය.

එම අධ්‍යයනය සිදුකළ වකවානුව වන විට භූමිගත (UHF, VHF) ටෙලිවිෂන් විකාශන 32ක්, ජංගම දුරකථන ටෙලිවිෂන් විකාශන එකක් , කේබල් විකාශන දහයක් සහ චන්ද්‍රිකා විකාශන අටක් සඳහා බලපත්‍ර ලබාදී තිබිණි.

රූපවාහිනී හා රේඩියෝ විකාශ සඳහා සංඛ්‍යාත වෙන්කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ය. ඉහත සඳහන් කරන ලද අධ්‍යයනයේදී ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා තිබුණේ ඔවුන් FM රේඩියෝ නාලිකා 20ක්, කෙටි හා මධ්‍යම තරංග විකාශ එක බැගින් (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට) , භූමිගත නාලිකා 17ක්, චන්ද්‍රිකා විකාශන පහක් සහ කේබල් රූපවාහිනී සේවා තුනක් සඳහා සංඛ්‍යාත වෙන් කර දී තිබෙන බවයි. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා සම්බන්ධ ගැටලු තිබෙන බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂක හා රේඩියෝ ශ්‍රාවක පදනමින් අති විශාල පංගුවක් හිමි රූපවාහිනී නාලිකාවල අයිතිකරුවන් වන්නේ කැපිටල් මහරාජා (සිරස), පවර් හවුස් (දෙරණ), ඒබීසී (හිරු) සහ රජය (රූපවාහිනී / අයිටීඑන්) යන ආයතනවලටයි. රජය හැර අනෙක් සමාගම් තුනම පවුල් තුනකට අයිති ය. මේ තුන හැර, නෙත්එෆ්එම් රේඩියෝව අයිති ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං සමාගම ද තිබේ.

බලපත්‍ර ලබාදීමේ කොන්දේසි ව්‍යාකූල හා විවිධ වුව ද, යම් පොදු කොන්දේසි තිබේ. විකාශයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, විද්‍යුත් පිටපත් දින 60ක් සංරක්ෂණය, හිමිකාරිත්වය වෙනස් වේ නම් දැනුම් දීම, වෙළඳ දැන්වීම් සම්බන්ධ ආචාර ධර්ම, දේශපාලකයන්ට අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳෙන්නට බැරිබව, අන්තර්ගතය සම්බන්ධ කොන්දේසි ආදිය එසේ පොදු වුව ද බොහෝ විකාශන මාධ්‍ය එම කොන්දේසි විවෘතව බිඳිනු දැකිය හැකිය. ඇතැම් විකාශන මාධ්‍ය දේශපාලකයන් විසින් ඍජුවම හිමි කරගෙන තිබෙන ආකාරය දැකිය හැකිය. නීතිමය හිදැස් නිසා ඒ සඳහා බාධාවක් ද නැත. 2004දී කලින් පැවති ආණ්ඩුව කලින් පෙරළා දමා ජාතිවාදය පදනම් කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට රේඩියෝ විකාශන බලපත්‍රයක් ලබාදුන් බව ද, පසුව එම පක්ෂය විසින් එම බලපත්‍රය විකුණා දමා ඇති බව ද ප්‍රසිද්ධ කාරණා වේ.

කොන්දේසි කැඩීම, හිමිකාරිත්ව ආකෘති වෙනස් වීම හා ඒ බව දැනුම් නොදීම, ගාස්තු නොගෙවීම, බලපත්‍ර කොන්දේසි අනුව වැඩසටහන්අන්තර්ගතයන් පවත්වාගෙන නොයාම, වාර්ගික අසමගිය ඇති කිරීම, නීතිය හා සාමය කැඩීමට පෙළඹවීම ආදී කරුණු රැසක් මත බලපත්‍ර අහෝසි කිරීමට හැකි ය. එහෙත්, ඉතා නින්දිත අන්දමින් මැතිවරණ නීති කැඩීම පසුගිය කාලයේ දක්නට ලැබිණි. 2022 වසරේ ප්‍රචණ්ඩත්වයට හේතු වූ මහජන කුපිත කිරීම් සම්බන්ධයෙන් පමණක් නොව, අගමැතිවරයාගේ (වත්මන් ජනාධිපති) පෞද්ගලික නිවස ගිනි තැබීමට පවා ජනමාධ්‍ය සම්බන්ධය.

පුවත්පත් සම්බන්ධයෙන් ප්‍රේක්ෂක පැමිණිලි විමසීමට පුවත්පත් පැමිණිලි කොමිෂම තිබුණ ද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් එවැනි මහජන පැමිණිලි විමසීමේ ක්‍රියාවලියක් හෝ නැත. පුවත්පත් පැමිණිලි කොමිෂම හපන්නට දත් නැති ලොඹු කටක් වීම වෙනම ප්‍රශ්නයකි.

පහත දැක්වෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල සාමාජිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු වෙත 2013 නොවැ 04 වනදා රට යන අත නමින් වු වැඩසටහනේදී එහි සභාපති හඩ්සන් සමරසිංහ විසින් දුරකථන ඇමතුම් මෙහෙයවමින් කරන ලද මරණ තර්ජන පිළිබඳ ඇය විකල්ප වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයකි.

“ඊයේ උදෑසන 9ත් 9.30ත් අතර විකාශය වූ වැඩසටහනට මට සවන් දීමට අවස්ථාවක් ලැබුනා. අසන්නන් කියලා කණ්ඩායමක හතර පස්දෙනෙක්ගේ ටෙලිෆෝන් පණිවිඩ මට අසන්න අවස්ථාව ලැබුණා. එක මහත්මයෙක් ටෙලිෆෝන්කරලා ‘මේ නිමල්කා ප්‍රනාන්දුලා වගේ අයව මේ සමාජයේ තියා ගන්න හොද නැහැ. නමුත් ඔවුන්ව විනාශ කිරීමට රජය මැදිහත් වෙන්න ඕන නෑ. ලොරියක් හරි ඒ වගේ වාහනයක් යොදා ගනිමින්, හදිසි අනතුරක් ඇති කරලා ඇයව විනාශ කරන්න ඕන’ කියලා කිව්වා. දැන් මෙය දුරකථන මාර්ගයෙන් එන්නේ කාටද? හඩ්සන් සමරසිංහ මහත්තයාගේ මේ වැඩසටහනට. ඔහු කිසිසේත්ම මෙය රටේ සාපරාධි අපරාධයක් කිරීම සදහා වාතාවරණයක් සකස් කරන මතයක් හැටියට හෙළා දැක්කෙත් නැහැ, ඔහු එය අනුමත කරමින් ‘අන්න, පේනවා නේද‘ කියලා එයට අත්පුඩි ගැසුවා.’’

හිරු රේඩියෝව මීට කලකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ රන්මිනිතැන්න ගමට කොටි පහර දුන් බවට බොරු ප්‍රචාරයක් කර ආණ්ඩුවේ තහනමට ලක් විය. එවකට එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වී හිරු අයිතිකරුගේ සහෝදරයා වූ දුමින්ද සිල්වා පසුව ආණ්ඩුවට එක් වී මෙම තහනම ඉවත් කරවා ගත්තේ ය.

රේඩියෝ නාලිකාවක් විසින් ජන සංහාරයකට දක්වන ලද දායකත්වය පිළිබඳ මෑතදී අසන්නට ලැබුණු භයානකම කතාව වන්නේ 1994 රුවන්ඩා ජන සංහාරයට එරට රජයට අයත් රේඩියෝ රුවන්ඩා සහ විශේෂයෙන් Radio Télévision des Milles Collines (RTLM) විසින් දක්වන ලද දායකත්වයයි. රේඩියෝ රුවන්ඩා වෛරී ප්‍රකාශ විකාශයන්වලට බාධා එල්ලවීමෙන් පසු බලයේ සිටි හුටූ ජනවාර්ගික ජනාධිපති හබියරිමානගේ හා ඔහුගේ බිරියගේ මූලිකත්වයෙන් RTLM පෞද්ගලික රේඩියෝ සේවය ආරම්භ කරන ලදී. රුවන්ඩාවේ සාක්ෂරතාව අඩු ජනයා අතර, විශේෂයෙන්ම තරුණ ජනයා අතර RTLM ඉක්මණින්ම ජනප්‍රිය විය.

1993 සිට 1994 අග දක්වා, ටුට්සි ජනවර්ගයට එරෙහි ද්වේෂ සහගත, දුස්තොරතුරු හා වෛරී ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා RTLM රේඩියෝව භාවිතා කරන ලදී. ටුට්සි ජාතිකයන් ඝාතනය කිරීම සඳහා මෙම රේඩියෝවෙන් ඍජුවම උපදෙස් ලබාදුන් අතර ඝාතකයන්ට ප්‍රශංසා කිරීමට ද රේඩියෝව යොදාගැනිණි. රුවන්ඩා ජන සංහාරයේදී හුටු ජනවර්ගය විසින් දින 100ක් ඇතුළත ටුට්සිවරුන් ලක්ෂ අටක් පමණ ඝාතනය කරන ලදී.

1990 දශකයේ රුවන්ඩාවේ සිටි තරම් අශික්ෂිත ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටිනවාද යන්න ගැන 2022න් පසු නැවත කල්පනා කර බැලීමට සිදුවී තිබේ. පවත්නා තත්වය රැකගනිමුද? නියාමනය අරඹමුද?

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

Similar Posts