e news

සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක ජීවත් වන ප්‍රජාවක් බව සාධාරණව තේරුම් ගැනීම අවශ්‍යය. සිංහල බෞද්ධයන්ගේ සංරක්ෂණවාදී හා ආක්‍රමණ විෂයෙහි සංවේදී ආරක්ෂණවාදී හැඟීම්වලට ගැරහීම හා සිංහල බෞද්ධ දේශපාලනය බිඳදැමීමට උත්සාහ කිරීම ඔස්සේ සිංහල බෞද්ධයන් සමග සංහිඳියාව ගොඩනගා ගැනීම දුෂ්කරය.

ලංකා රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය 1948ටත් පෙර සිටම අභියෝගයට ලක්වූ අතර දෙමළ අරගලය එය බිඳදැමීම ආසන්නයටම පැමිණ පරාජය විය. එහෙත්, ඊටත් වඩා සාර්ථක වූයේ 2022 වසරේ අරගලයයි. සිංහල බෞද්ධ අධිපතිවාදය ඇතුළතින්ම පුපුරුවා හරිමින් මතු වූ 2022 අරගලය විසින් සිංහල බෞද්ධ ජාතිවාදී ධාරාව තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. වඩා නවීන සිංහල බෞද්ධ ජාතිකවාදයක ප්‍රවණතාවක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දැකිය හැකි වුව ද එය එතරම් ශක්තිමත් එකක් නොවේ.

සිංහල බෞද්ධයාගේ නවීකරණයක් ලාංකීය රාජ්‍යයට අතිශය හිතකරය. එහෙත්, එම පරිවර්තනය සඳහා සාධාරණ කාලයක් හා අවකාශයක් අවශ්‍යය. සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදී බලවේග මෙන්ම ලිබරල්, අනාගමික හා අන්‍යාගමික බලවේග ද එයට ඉඩ දෙන බවක් නොපෙනේ. සිංහල බෞද්ධ අධිපතිවාදය පරාජය කිරීම ලිබරල්, අනාගමික හා අන්‍යාගමික බලවේගවල අරමුණයි. මගේ තර්කය වන්නේ එය පරාජය කිරීමට නොව නවීනත්වය කරා පරිවර්තනය කිරීමට උත්සාහ කළ යුතු බවයි.

සිංහල බෞද්ධ අධිපතිවාදය පරාජය කිරීමට උත්සාහ කරන බලවේග විසින් හැම විටම සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදී බලවේග කුපිත කරනු දකින්නට ලැබේ. මේ අතර, මෙම කුපිත වීම ඔස්සේ ජීවනෝපාය සපයාගන්නා තුන්වන පන්තියේ වෘත්තීය කුපිත වන්නන් සිවුරු හා සුදු වතින් සැරසී කැමරා ඉදිරියේ රඟනු නිරන්තරයෙන් දැකිය හැකිය. සිංහලයාට හා බුදු දහමට පරිභව කිරීම වෙනුවෙන් ඔවුන්ට වක්‍රව මෙන්ම ඍජුව ද ප්‍රතිලාභ ලැබේ.

නතාෂා එදිරිසූරිය සම්බන්ධ සිදුවීම දෙස මා බලන්නේ මම කාචය හරහාය. ඇගේ නාටකය මෙන්ම, එය පසුපසින් ඇති වානිජ හා දේශපාලනික අරමුණු මෙන්ම පැමිණිලි කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද එකම කොමඩි නාටකයකි.

1966දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සම්මත කරනු ලැබුවේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට සමගාමීවෙය. ICCPR විසින් ජීවත්වීමේ අයිතිය, වධහිංසාවෙන් නිදහස් වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ඇතුළු සිවිල් සහ දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීමයි.

ශ්‍රී ලංකාව 1977 සැප්තැම්බර් 12 දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුමත කළ අතර 1980 මැයි 11 දින එය අනුමත කළේය. ශ්‍රී ලංකාව ICCPR සම්බන්ධ විකල්ප ප්‍රොටෝකෝලය ද අනුමත කර ඇති අතර, ඒ අනුව, ICCPR යටතේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි විශ්වාස කරන්නේ නම්, මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබේ. ඔප්ෂනල් ප්‍රොටෝකෝලය ශ්‍රී ලංකාව විසින් 1998 දෙසැම්බර් 14 දින අනුමත කරන ලදී. මානව හිමිකම් කමිටුව යනු ICCPR ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ (UN) ගිවිසුම් ආයතනයකි.

ශ්‍රී ලංකාව තුළ ICCPR ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැටලු පවතී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ICCPR ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරන ආයතනය වන මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාව තුළ පනත අවභාවිතය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. කමිටුව වෙත ශ්‍රී ලංකාවේ වාර්තාව පිළිබඳ එහි අවසාන නිරීක්ෂණවලදී මානව හිමිකම් කමිටුව කියා සිටියේ මෙම පනත “ප‍්‍රකාශනයේ සහ සංවිධානය වීමේ නිදහස සීමා කිරීමට සහ ආගමික සුළුතරයන් ඇතුළු විශේෂිත කණ්ඩායම් ඉලක්ක කිරීමට භාවිතා කර ඇති” බවයි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වා තිබේ. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙයින් පැන නැගෙන කරුණු රාශියක් ඇති බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. “ඉහත සඳහන් අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කුමන ආකාරයටද යන්න මුල් ප‍්‍රශ්නයයි. ලංකාවේ සිදුවන ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

“පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳවවත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

“පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධයට අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීමේ හෝ ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතු ය. එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබඳව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසිගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබඳව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් ක්‍රියාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

“මෙය සලකා බැලීමේදී ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ වගන්ති අනුව ඇති වෙනත් අයිතිවාසිකම් හා පැමිණිල්ලේ කර ඇති ප‍්‍රකාශ අතර ගැටීමක් පවතිනවා ද යන්න පරීක්ෂකවරයා සොයා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ ඉතා කේන්ද්‍රීය අයිතිවාසිකමක් වන්නේ ප‍්‍රකාශනයට ඇති අයිතියයි.”

2023දී නතාශා එදිරිසූරිය ICCPR පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ බුදු දහම විවේචනය කිරීම සම්බන්ධයෙනි. ඇගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් ලබාදෙන ලද තීන්දුවෙහි මෙසේ සඳහන් වේ. “අප පනතේ 3 වගන්තිය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 20වන වගන්තියේ දෙවන උප වගන්තියට සමාන වේ. මෙය අර්ථ දැක්විය යුත්තේ සම්මුතියෙහි 19වන වගන්තිය සමග බව පිළිගත් කරුණකි. එනම්, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තුළ මෙය අර්ථ දැක්විය යුතු බවට නීතිය පිළිගෙන ඇත.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මහාධිකරණ විනිසුරුවරයා යම් ප්‍රකාශයක් වෛරී ප්‍රකාශයක් ද නැද්ද යන්න සලකා බැලීමේදී රබාත් ක්‍රියකාරී සැලැස්ම භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. 2012 ඔක්තෝබරයේදී මොරොක්කෝවේ රබාත් නගරයේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසි වාරයකදී හඳුන්වා දෙන ලද බැවින් රබාත් ක්‍රියාකාරී සැලැස්ම ලෙස නම් කර තිබෙන එහි ප්‍රධාන අරමුණු පහත දැක්වේ:

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය මෙන්ම වෛරය ඇවිස්සීමත් තහනම් බව සහතික කිරීම.
යම් ප්‍රකාශයක් වෛරය අවුස්සන්නේද යන්න තීරණය කිරීමේදී කතාවේ සන්දර්භය, කථිකයා, අභිප්‍රාය, අන්තර්ගතය, කතාවේ ප්‍රමාණය සහ හානියක් සිදුවීමේ සම්භාවිතාව සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාව.
මාධ්‍ය, ආගමික නායකයින් සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් වෛරය ඇවිස්සීමට එරෙහි සටනට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව.

ශ්‍රී ලංකාව 2014 ජනවාරි 29 වැනි දින රබාත් ක්‍රියාකාරී සැලැස්ම අනුමත කරන ලදී.

ඉහත පැහැදිලි කරන ලද නීතිමය තත්වයන් කුමක් වුවත්, ICCPR පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ ගැටලුව හුදෙක් නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ පමණක් විසඳාගත හැකිද යන්න ගැටලුවකි. ICCPR පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්වයම වාර්ගික හා ආගමික ගැටුමකි. නතාශා එදිරිසූරිය සම්බන්ධයෙන් කතා කරන විට සිංහල බෞද්ධ බලවේග විසින් මතුකර දක්වනු ලබන කරුණක් වන්නේ, 2007 සිට අක්‍රියව තිබුණු මෙම පනත සක්‍රිය කරනු ලැබුවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි දඩයම් කිරීමට 2018දී බවයි. ඒ පසුපස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිටි බව ද සත්‍යයකි. එහිදී සත්‍ය වශයෙන්ම ඥානසාර හිමිට එරෙහිව පැමිණිලි කරනු ලැබුවේ බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේය. ඔහු 2018දී කුරුණෑගල රැස්වීමකදී බුදු දහම සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහු ICCPR පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු බුදු දහම සම්බන්ධයෙන් කරන ලද විවේචනය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී ප්‍රජාව වෙතින් විරෝධයක් මතු නොවීම විශේෂ කරුණකි. එසේම, අධිකරණයෙන් ඔහුට ඉතා කෙටි කාලයක් තුළ ඇප ලැබිණි. ඥානසාර හිමියන් වෙනත් ආගම් සම්බන්ධයෙන් ද මෙවැනි ප්‍රකාශ සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

එතැන් සිට ශක්තික සත්කුමාර, රම්සි රසීක් වැනි සිදුවීම් ඔස්සේ ICCPR පනත ක්‍රියාත්මක කිරීම සිදු වන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවණතාවකින් බව පැහැදිලිව දැකිය හැකිය. එහිදී නඩු බොහොමයක් පසුව අහක ගියත්, මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට දීර්ඝ කාලයක් ගත වන නිසා විත්තිකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීමෙන් දඬුවම් කිරීම සඳහා මෙම පනත අවභාවිතා කරන බව ඉතා පැහැදිලිය. මෙය ඉදිරියටත් සිදු විය හැකිය. හේතුව, නීතිය ක්‍රියාත්මක කරන්නන් ද මෙම සිංහල-බෞද්ධ ජාතිවාදී දේශපාලනය තුළ හැසිරවෙන බැවිනි. ඔවුන් අතින් හිංසනයට ලක්වන පිරිස් සිංහල-බෞද්ධ ජාතිකවාදයට විරුද්ධ දේශපාලන බලවේග විසින් හසුරුවනු ලබන බව ද අසත්‍යයක් නොවේ.

ශ්‍රී ලංකාවේ ICCPR සම්බන්ධ ගැටලුව විසඳාගැනීමේදී සිංහල බෞද්ධයන් හා සෙසු ප්‍රජාවන් අතර සංහිඳියාව වැදගත් වන බව මගේ අදහසයි. සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය විනාශ කිරීම ඉලක්ක කරගත් දේශපාලනය විසින් සිදුවන්නේ සිංහල බෞද්ධ අන්තවාදය තව තවත් දිරිගැන්වීමයි. ඒ වෙනුවට සිංහල බෞද්ධ ජාතිකවාදයට නවීකරණය වීමට හා පරිවර්තනය වීමට අවස්ථාව ලබාදිය යුතුය. ඒ සඳහා සංයමයකින් යුතුව කටයුතු කිරීම සෑම පාර්ශ්වයකින්ම අත්‍යවශ්‍යය.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

 

e news

More Stories