“විමල් සිය ජීවිතයේ එක් අවධියක් සමාප්ත කළේ හිරු පුවත්පතින් ජවිපෙ දේශපාලන මණ්ඩලයට සංක්‍රමණය වීමෙනි. දෙවන අවධිය සමාප්ත කළේ ජවිපෙන් හා සෙනෙවිගෙන් බිඳීමෙනි. මහින්ද රාජපක්ෂ සමග විමල්ගේ දේශපාලනය සමාප්ත කරන්නට කාලය එළැඹ ඇත. ඔහුගේ මීළඟ දේශපාලන අවධිය ආරම්භ වන්නේ එතැනිනි.”
ඉහත දැක්වුණේ 2010 සැප්තැම්බර් 3දා මවිසින් විමල් වීරවංශ පිළිබඳ තබන ලද සටහනක කොටසකි. එම ලිපිය මෙතැනින්>>
එහෙත්, විමල් එසේ රාජපක්ෂ බලවේගයෙන් බිඳී ගියේ නැත. ඒ වෙනුවට මහින්ද සුළඟේ නායකයකු වෙමින් රාජපක්ෂ පවුල නැවත බලයට ගෙන ඒමට ඔහු මූලිකත්වය ගත්තේය. එය ඒ අවස්ථාවේ සාර්ථක මූලෝපායකි. එහෙත්, එයින් රාජපක්ෂ පවුල ඉතිහාසයේ මෙතෙක් කිසිදා නොවූ තරමින් බලවත් විය.
මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය.
එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ප්‍රශ්නයේදී විමල් වීරවංශ පොහොට්ටු සන්ධානයේ ජාතිකවාදී ධාරාව ගොනුකරගෙන නායකත්වය දුන්නේය. කැබිනට් සාමාජිකයකු ද වූ විමල් වීරවංශ ආණ්ඩුවට එරෙහි අරගලයක නායකත්වය ගැනීම හේතුවෙන් ආණ්ඩුවේ ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික මූලෝපාය අවුල් වී ගියේය. එය කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කිරීමකි. එහෙත්, විමල්ට ඒ සඳහා පුළුල් සහයෝගයක් ආණ්ඩුව තුළින්ම ලැබිණි. විශේෂයෙන්ම වාසු, ගම්මන්පිල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු සමග සිටගත්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපසට විසිවී සිටින ඩලස් අලහප්පෙරුම වැනි බලවේග ද ඔහුට සහාය දෙන්නට ඇත.
මේ වන විට රාජපක්ෂ පවුලේ බල දේශපාලනික මූලෝපාය ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වෙමින් තිබේ. ආණ්ඩුව, රාජ්‍යය, මාධ්‍ය, ස්වාධීන ආයතන, ව්‍යාපාර ආදී සෑම අස්සක් මුල්ලක් නෑරම රාජපක්ෂ පවුල අඬුබඬු විහිදුවමින් සිටින අතර, විපක්ෂය කෙරෙහි පවා ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙන බව පෙනේ.
රාජපක්ෂ පවුල කිසිවකු විශ්වාස නොකරන බව ද, කිසිදු විකල්ප නායකත්වයකට තම බල අවකාශය තුළ ඉදිරියට ඒමට ඉඩ නොදෙන බව ද පෙනේ. ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කර අසුවී සමාව ලද සුවච කීකරු තත්වයට පත්වූ බව පෙන්වන ජොන්ස්ටන් වැනි අන්තේවාසිකයන් හැර අන් නායකත්වයක් රාජපක්ෂ පවුලට අවශ්‍ය නැති බව පෙනේ. එහෙත්, එයට අනුගත බව පෙන්වන මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයගේ පටන් විමල් වීරවංශ දක්වා ඉදිරිපෙළ නායකයන් එය භාරගැනීමට සූදානම්ද?
දෙන ලද තත්වය භාරගැනීමට නම්, මෙම නායකයන්ටත්, ඔවුන්ගේ ඉදිරි පරම්පරාවලටත් බලය නැතත් ඇති තරම් ධනය උපයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. එහෙත්, ඒ අන්දමින් දූෂණයෙන් සූරාකන්නට තරම් සාරයක් ශ්‍රී ලංකාවේ ඉතිරි වී නැත.
එසේම, මහජන විරෝධය, ජාත්‍යන්තර පීඩනය වැනි සාධක හමුවේ නිදහසේ සොරකම් කිරීමේ අවස්ථාව දැන් දේශපාලකයන්ට හිමිවන්නේ නැත. පවත්නා අවිනිශ්චිතභාවය තුළ ඔවුන් සිටින්නේ අවදානමකය. එසේම, විමල් වීරවංශ වැනි නායකයන් දූෂිත වුවත්, රාජපක්ෂ පවුලේ අයට තිබෙන දූෂණ චෝදනා තරම් බරපතල චෝදනා ඔහුට නැත.
රාජපක්ෂ පවුල මුහුණ දෙන අභියෝගය වන්නේ ජොන්ස්ටන් වැනි සුවච කීකරු අන්තේවාසිකයන් ලෙස විමල් වීරවංශ දක්වා දෙවෙනි පෙළේ සියලු දෙනා ආණ්ඩුව තුළ රඳවාගෙන රාජපක්ෂ පවුලේ ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි.
ගැටලුව වන්නේ රාජපක්ෂ පවුල විසින් සලකුණු කරන ලද බලසීමාව තුළ දිගේලි වීමෙන් විමල් වීරවංශ වැනි අයට ඇති ප්‍රයෝජනය කුමක්ද යන්නයි. දේශපාලනය තුළ ඇත්තේ ගමනකි. එකතැන පල්වන්නා අසාර්ථක වේ. නිමල් සිරිපාල වැනි අය උදාහරණ ලෙස සැලකිය හැකිය.
විමල් වීරවංශ යනු ආණ්ඩුව දියයට සඟවා තබාගන්නා රබර් බෝලයකි. එම රබර් බෝලය තුළ බෝම්බයක් අඩංගු විය හැකිය. විමල් යටත් වන්නේ නැත. යටත් වුණත් ඒ යටත් වීම තාවකාලිකය. රාජපක්ෂ පවුල එයින් තෘප්තිමත් වන්නේ නැත. ඔවුන් අඛණ්ඩවම විමල් කරන්නේ කුමක්දැයි පසුපස එළවමින් සොයනු ඇත. ඔහු දේශපාලනිකව සිරකිරීම පහසු නැත.
රාජපක්ෂ පවුල් දේශපාලනය පිටතින් මෙන්ම ඇතුළතින් ද වටකිරීම ආරම්භ වී තිබේ. රාජපක්ෂ පවුලට නිර්මාණය වෙමින් තිබෙන මුල්ලිවයික්කාලෙන් ගැලවීම ලෙහෙසි නැත. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සීමිත වාග් කෝෂයේ තිබෙන අවුට් ඔෆ් ද බොක්ස් හෙවත් රාමුවෙන් පිට චින්තනයක් අවශ්‍යය.
අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත