වගා බිමකට පැමිණි කුරු අලියෙකු බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා කහටගස්දිගිලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂන සිදුකරති.

පසුගිය (21දා) මහකුඹුක්වැව පහලවෙල තුලානේ ග්‍රාම නිලධාරිවරයා හා ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියෙකු සිදුකල දැන්වීමකට අනුව පුරන්වු වෙල්යායක මියගොස් වැටි සිටි වයස අවුරුදු 15ක් පමණවු කුරු අලියාගේ සිරුර පොලිසිය සොයා ගෙන තිබුණි.

පසුව ඒ සම්බන්ධයෙන් වනජීවි කාර්යාලයේ නිලධාරින් හා අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශු වෛද්‍ය කාර් යාලයේ නිලධාරින්ව දැනුම්වත් කිරිමට කහටගස් දිගිලිය පොලිසිය කටයුතු කර තිබුණි.

පසුගිය (21දා) මධ්‍යම රාත්‍රීයේ රත්මල්ගහවැව මහකුඹුක්වැව පහලවෙල ප්‍රදේශයේ පිහිටි ගොවි බිමකට කුරු අලියා පැමිණි අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලිසිය සැකපහල කරයි.වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබු අලියා වෙල් යායේ වැටි ජීවිතක්ෂයට පත්වි සිටි බවත් හිස ප්‍රදේශයට වෙඩික්කරු වෙඩිල්ල එල්ලකර ඇති බවටත් පොලිසිය සිදුකල පරික්ෂන වලදි අනාවරණයවි තිබුණි.

කුරු අලියා මියගිය ස්ථානයට පැමිනි අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පශ්චාත් මරණ පරික්ෂනය පැවත්වු අතර එහිදි අලියාගේ හිස හා කන් අතරින් වෙඩි ප්‍රහාරය එල්ලවි ඇති බවත් ඉන් සිදුවු අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුවි ඇති බවත් නිගමනය කලේය.

ඝාතනයවු කුරු අලියාට මීට පෙරත් කිසියම් පුද්ගලයෙකු විසින් ශරිරයට වෙඩි තබා සුවවු තුවාල කැලල් කිහිපයක් දක්නට ලැබුණු බව පරික්ෂන සිදුකල පොලිසිය පවසයි.කුරු අලියා මරාදැමු පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කරගෙන අත්අඩංගුවට ගැනීම සදහා කහටගස්දිලිය පොලිසිය හා වනජීවි නිලධාරින් පරික්ෂන පවත්වති.

කහටගස්දිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රදීප් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරික්ෂන සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories