ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2020 වාර්ෂික ඇසළ මංගල්‍යය පුන්‍ය පුණ්‍යෝත්සවයේ අවසන්  පෙරහැර (70) වරටත් 2020 අගෝස්තු මස 22 දින රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි.
මෙවර ඇසළ පුණ්‍ය උත්සවයේ වැඩ කටයුතු රටේ පවතින අයහපත් සෞඛ්‍ය වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති වලට අනුකූලව  ජන සහභාගීත්වයකින් තොරව සිදුකිරීමට බෙල්ලන්විල රාජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්  වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහැර කමිටුව විසින් තීරණය කර තිබූ පරිදි අවසන් මහා රන්දෝලි පෙරහැර වෙනුවට සම්ප්‍රදාය නුකූලව සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව පාවාඩ පෙරහරකින් දායක කාරකාදීන්ගේ හිස මතින් වැඩම කරවීම මෙම අවස්ථාවේදී සිදුවිය.
උඩරට, පහත රට, සබරගමු, සම්ප්‍රදායික නර්තන අංග කිහිපයකින් හා දේශීය සංස්කෘතික අංගයන් කිහිපයකින් සමන්විත පාවාඩ පෙරහැර විහාරස්ථානයේ ධාතු මන්දිරයෙන් පිටත්වී විහාරයේ නැගෙනහිර වාහල්කඩින් විහාර මාවතට පිවිස ඒ ඔස්සේ ගමන් කර දෙහිවල මාර්ගයට පිවිස විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නැවත විහාර භූමියට ගෙවිදීම සිදුවිය.
පෙරහැර සඳහා හස්තීන් තිදෙනකුගේ දායකත්වය පමණක් ලබාගෙන තිබූ අතර සම්ප්‍රදායානුකූල නැටුම් වැයුම් සමගින් විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, විභීෂණ යන සතර දේවාලයන්හි දේවාභරණ සහ රනින් නිම කරන ලද දේව ප්‍රතිමාවන් වැඩම කරවීමද පෙරහරේදී සිදු කෙරිණි.
ධාතුන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව හිස මතින් වැඩම කරවීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හිටපු පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් සිදු කළේය.
අගෝස්තු මස 23 වන ඉරුදින වේරැස් ගඟ කටු ඇල තොටුපලේදී  චාරිත්‍රානුකූලව දිය කැපීමේ  මංගල්‍යයෙන් අනතුරුව සන්ධ්‍යාවේ පැවැත්වූ දේව දානය හා ගරායක් ශාන්ති කර්මයෙන් මෙවර ඇසළ පුණ්‍යෝත්සවයේ  වැඩ කටයුතු නිමාවට පත්කළ බවත් පෙරහැර කමිටුව පැවසීය.
 බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ සහ බෙල්ලන්විල රාජ මහා විහාරයේ විහාරාධිකාරී බොරලැස්ගමුවේ පේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා හා විහාරස්ථාන දායක සභාව විසින් පූර්ණ සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් පෙරහැර සංවිධානය කර තිබිණි.
පෙරහැර නැරඹීම සඳහා මහා සංඝරත්නය සහ  බැතිමතුන් පිරිසක් පෙරහැර ගමන් ගත් මාර්ගය දෙපස සිටින ආකාරයද දැක ගන්නට ලැබිණි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories