මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ.

මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි, එම්බීඩබ් කුමාර සහ යුධ හමුදා සෙබල පියතිස්ස යන රණවිරුවන් දෙදෙනා ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, එහිදී නාගදීප විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද පුද කෙරිණි.

තවද, නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයේ සිට මුහුදු මඟින් ගමන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලද අතර, එහිදී නයනතිව් ජැටියේ සිට කුරිකට්ටුවාන් ජැටිය දක්වා නාවික හමුදා යාත්‍රාවක් මඟින් රණවිරුවන් දෙදෙනා ආරක්‍ෂිතව රැගෙන ඒමට කටයුතු කරන ලදී.

එමෙන්ම මෙම රණවිරුවන් හට පුංකුඩිතිව්, කුරිකට්ටුවාන් ජැටියේ සිට යාපනය දක්වා ආරක්‍ෂාව සහ ආහාර පාන උතුරු නාවික විධානය විසින් සැපයිමට කටයුතු කරනු ලබයි.

මෙම පාද යාත්‍රාව කතරගම පුද බිමෙන් අවසන් වීමට නියමිතය.

ශානි

More Stories