ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2019 වසරේ මැද භාගයේ ඉදිකිරිම් වැඩ ආරම්භ කළ මරදන්කඩවල හඹරණ ප්‍රධාන මාර්ගයේ (ඒ-11) කිලෝමීටර 15ක කොටසක කාපට් ඇතිරිමේ කටයුත්තේ යම් අක්‍රමිකතාවක් පැහැදිලිව සිදුවන බව මාර්ග ඉදිකිරිම් ක්ෂත්‍රයේ නිරත ජේෂ්ඨ ඉංජිනේරුවරුන් පිරිසක් පෙන්වා දුන්හ.

ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 3155.5 ණය ආධාරමත යහපාලන ආණ්ඩු සමයේ ඒ-11 මාර්ගය කාපට් අතුර නැවත සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණු අතර මේ වනවිට ප්‍රධාන මාර්ගයේ ආරම්භක කොටස් දෙකක වැඩ කටයුතු ප්‍රමිතගතව අවසන්වි ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.

මරදන්කලඩවල සිට මාමිණියාව වැව ආසන්නයට කිලෝමීටර් පහක කොටසක් ඉතා උසස් අන්දමින් ඉදිකර එහි සියළු වැඩකටයුතු අවසන් කර තිබෙනා අතර හඹරණ සිට පළුගස්වැව දුම්රිය හරස් මාර්ගය ආසන්නයට කිලෝමීටර් පහක දුර ප්‍රමාණයක ඉදිකිරිම්ද ඉතා උසස් මට්ටමින් කොන්ත්‍රාත් සමාගම විසින් අවසන්කර තිබේ.

ඒ 11 මාර්ගය සංවර්ධන කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂනය යටතේ සිදුවෙමින් පවතින අතර මාර්ගය දෙපස කාණු පද්ධතිය පාලම් බොක්කු උසස් අන්දමින් ඉදිකර තිබෙනා අතර නවීන සංවර්ධනය සිදුවන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10ක කොටස නිසි පළලට අනුව සංවර්ධනයවි අවසන්ය.

එහෙත් ඉංජිනේරුවන් පෙන්වා දෙන ආකාරයට පළුගස්වැව දුම්රිය හරස් මාර්ගයේ සිට මාමිණියාව වැව දක්වා කොටසේ සංවර්ධනය කිරීමේදි මෙතෙක් නොදුටු අමුතු තාක්ෂණයකට අනුව පැරණි මාර්ගයට උඩින් කාපට් ඇතිරීම සිදුකරනා බව ඔවුන් පැවසුහ.

මර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවිය හැකි බව කියන ඉංජිනේරුවන් පිරිස මෙසේ පැවසුහ.මේ මාර්ගය ඉදිකෙරෙන්නේ රුපියල් මිලියන 3155කට අධික අති විශාල ණය කන්දක් අරගෙන.

එහිදි කිලෝමීටර් දහයක් ඒ.බී.සී ගල් ඇතුරලා කාපට් අගල් පහ-හයක ලේයර් එකක් දාලා තියනවා.මේ ප්‍රධාන මාර්ගය තව වසර පහක් කිසිදු ගැටළුවක් නැතුව භාවිතා කරන්න හැකියාව තියෙද්දි තමයි එක පාරටම හදන්න පටන් ගත්තේ.

ප්‍රධාන මාර්ගයේ කොටස් දෙකක් ප්‍රමිතිගත විදියට වාහන තුනකට අපහසුවෙන් තොරව යන්න පුළුවන් විදියට හැදෙනවා.පළුගස්වැව ඉදන් මාමිනියාව වැව දක්වා කොටසේ තිබ්බ පාරෙම උඩට කාපට් ලේයර් එක දානවා.එතකොට කිලෝමීටර් 15ක් තිබ්බ පාරේ ප්‍රමාණයටම තමයි හැදෙන්නේ.මොකක්ද ඒ මාර්ගය නිර්මාණ ක්‍රමය.

මාමිනියාව වැව ආසන්නය අපිට හිතෙන විදියට නැවතත් ප්‍රමිතියට හැදෙනවා වගේ කියලා හිතෙනවා.දැනට හදලා තියන පාරේ උසට ඉතිරි කිලෝමිටර් 15 උස්සලා හදන්න කාපට් ලේයර් එක අගල් 11ක් දාන්න ඕන.ඒ කියන්නේ අතිවිශාල මුදලක් ඒ සදහා යනවා.

අපි දැක්කා මේ කිලෝමීටර් 15 ඇතුලත තවත් මීටර් 50-100ක කොටසක් ඒ.බී.සී ගල් ඇතුරලා කාපට් ලේයර් එක දානවා.එකෙත් යම් තේරුමක් තියනවා.

ඒකත් වංචනික වැඩක්.පරික්ෂන කණ්ඩායමක් ආවොත් ඒ ස්ථානවලින් පරික්ෂන සදහා කොටස් අර ගන්නවා.මේ කටයුතු පිළිබදව තමයි අපිට පැහැදිලි සැකයන් ඇතිවෙන්නේ.

නිවැරදි ආකාරයට මේ මාර්ගය සංවර්ධනය වෙන්න ඕන.ඒ.බී.සී ගල්නොදා මාර්ගය හැදුවාහම ටික කාලයක් යනකොට ගිලා බැසීම ඉතා ඉක්මනින් සිදුවෙනවා.

අපි කියන්නේ මේ මාර්ගය නිර්මාණය කිරිමේදී හිතා ගන්න අමාරු අමුතුම නිර්මාන ක්‍රමයක් සිදුවෙන්නේ.සැකයට අනුව සිදුවන ක්‍රියාවලිය එක්ක විශාල මූල්‍ය අක්‍රමිකතාවක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා.

පහුගිය ආණ්ඩුවට මඩ ගහන්න කොන්ත්‍රාත් ආයතන වලට මඩ ගහන්න නෙමෙයි අපි කථා කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි මේ ණය ගෙවන්න ඕන.ඒ නිසා වර්ථමාන ආණ්ඩුවේ මහ මාර්ග අමාත්‍යවරයා ඇතුළු බලධාරින් වහාම මේ පිළිබදව අවධානය යොමු කරන්න ඕන යනුවෙන් ඔවුන් පැවසූහ.

ප්‍රශ්නගත මාර්ග කිලෝමීටර් 15 අධික්ෂනය කරන මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂන ඉංජිනේරූ චාමර හේරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.

සංවර්ධන කටයුත්තේදි කිසිම අක්‍රමිකතාවක් සිදුවෙන්නේ නෑ.මාර්ග ඉදිකිරිමේදි භාවිතා කරන තවත් ක්‍රමයක් උපයෝගි කරගෙන තමයි මේ මාර්ගය හදන්නේ.පාර උඩින් රැහැලා ඒ මතට කාපට් එක දානවා.ඒක වංචා සහගත ක්‍රියාවක් නෙමෙයි.ඒක නවින ක්‍රමයක්.

මේ මාර්ගය තැන් තැන් ඉරිතැලීම් තිබුණා.ඒ නිසා තමයි යහපාලන ආණ්ඩුව එය ප්‍රතිසංස්කරණයට කටයුතු කරේ.නියම විදියට ටෙන්ඩර් වලට අනුව තමයි මේ සියළුම කටයුතු සිදුවෙන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories