කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට   පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය නිල නිවසේ දී හමුවූ අවස්ථාවේදීය.

දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවසන් හමුව ලෙස රාජ්‍ය තාන්ත්‍රික ධුරාවලියෙන් බැහැරව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයකි.

කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැතිර යන කොවීඩ්  වසංගතය පාලනය කිරීම සඳහා  ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

කොවීඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට දීම සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

More Stories