පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම ධාරිතාවට ආසන්නයේ පවතින බැවින් එහි වාන් දොර‍ටු 02ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි.

මේ දිනවල කඩින් කඩ වැඩි ඇති වීම නිසාත් උපරිම ජල ධාරිතාවට මදක් අඩුවෙන් ජලාශයේ ජල මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාත් මෙසේ වාන් දොර‍ටු විවෘත කළ බව ඒ මහතා වැඩි දුරටත් කීය.

සාමාන්‍යයෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු විවෘත කිරීමට සිදුවන්නේ වසරේ ජනවාරි ,පෙබරවාරි,දෙසැම්බර් මාසවලදී වුවත් මෙවර මාර්තු මාසයේ ද වාන් දොර‍ටු විවෘත කිරීමට සිදුව තිබීම විශේෂත්වයක් බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

විවෘත කර ඇති වාන් දොර‍ටු දෙකෙන් තත්ත්පරයට ගන අඩි 280ක් පිටතට මුදා හැරෙන බවත් ඉන් ජලගැලීම් තත්ත්වයක් ඇති වීමට ඉඩ කඩ නොමැති බවත් හෙතෙම පැවසීය.පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 116000කි.පින්තූරවල දැක්වෙන්නේ වාන් දොර‍ටු විවෘත කර තිබෙන අන්දමයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts