annasi

අන්නාසි කියලා කියන්නේ මම ආසම පලතුරු වලින් එක ජාතියක්. මගේ අන්නාසිසාව ගැන ලියන්න හිතුනා. අපේ දිව කියලා කියන්නේ සංස්කෘතික කාරණයක්.

අපි විඳින රස ඒ හැඟීම කොච්චර අපිට අකුරු කරන්න වචනවලට හරවන්න පුලුවන් ද කියන එකත් එක්ක විඳින රස දෙඟුණ වෙනවා. අන්නාසි කියන්නේ රස ගුහාවක්. ඒක කෙළවරක් නැති ගුහාවක්. ඉතිං ඇවිදින්න නවතින්න දොයියන්න, මග මුණ ගැහෙන විල් තෙර පැන නාන්න ඇහැකි ගුහාවක් ඒක..

ඉස්සර අපේ ගෙදර අස ගඟ පීනුවාම අන්නාසි ගාලට වදින්න ඇහැක්. රබර් සාගරේ අන්නාසි දූපත් හැමතැනම. ඉතිං අන්නාසි කඩනවා ගලේ ගහනවා කනවා, ඒක ආතල් රාජකාරිවලින් එකක්. මේ කැඩිල්ල හොරට කඩන කැඩිල්ලක් නිසා රස දෙගුණ තෙගුණ. අන්නාසි ගැටවල ඉඳලා ඉඳිලා කුණුවෙන්න ආසන්න අන්නාසිය දක්වා නෙක රස. මුරුසි එක රසක් ගල් කියන්නේ තව රසක්.

ජූසි කට දෙපැත්තෙන් බේරෙනකොට දෙතොල් රතට ඇහැරෙනකොට දිව අග තිනු වෙනකොට අන්නාසි රස ඇගට උරාගන්නවා සට සට ගාලා. උදේට කබ කඩන්න ඇහැක්වෙන්න අන්නාසි කනවා කියන්නේ අන්නාසි රස මරුවෝ අපි තමයි කියනඑක..

ගැට ගෙනල්ලා රැහැලා පෙති ගහලා මිරිස්කුඩු ලුණු කුඩු ගම්මිරිස් විනාකිරි එක්ක නටවලා කලතලා ගත්තාම දිව දෙපැත්ත සුවාල වෙනකම් කන්න පුලුවන්. ඉස්සර අපි රෑට සංගීත බලන්න ගියාම අන්නාසි බේසමේ එල්ලෙන්න බලන් ඉන්නේ. ටැප් වෙන්න ගැහුවාම කාගෙන කාගෙන යන්නේ අන්නාසි.. බහිනවා සුත්තෝ කියනකොටත් අපි කනවා ඉතිං.. ට්‍රිප් එකක් ගියාම බේසමෙන් හිනාවෙලා කටට පනින අන්නාසි කෑල්ලේ තියෙන්නේ වෙන රසක්. ජූස් එක නැත්තං අන්නාසි පැණිය කට දෙපැත්තෙන් හැලෙන්න චරස් ගාලා අන්නාසිය කටට නොගත්තොත් රස පොඩ්ඩක් අඩුවෙනවා. අම්මපා..! අන්නාසිය බුල් සුහුල් වෙන්න උරනකොට එන්නේ වෙන රසක්.. උරාමි කියන්නේ රස විශාල ප්‍රමානයක් හෙමි හෙමිහිට රහා විඳිනවා කියන එක.. ඒක කාල කැබලි එකට අමුනලා රහාවත් වීමක්.

බත් කනකොට අන්නාසි කෑල්ලක් පිඟානේ පැත්තක හිනාවෙනවා නම් කෑම රස ඉතිං දෙගුණ තෙගුණ වෙනවා. සුවඳ සලලා සල ලල ලා කෑම රුචිය හදන ගමන් අන්නාසිය අපි ජීවිතේ තවත් පැත්තක තියෙන සතුටු ගඟක පිහිනන්නේ කොහොමද කියලා කියලා දෙනවා.

බිරියානි හදනකොට අන්නාසියේ චවිය කළු කට්ට වෙන්න ටිකක් පුච්චලා රැහැලා සිහිනි කරලා ලියලා කරලා ගත්තාම ඉතිං බිරියානි බුරියානේ උල් වෙන්න කන්න පුලුවන්. බිරියානි නෙවෙයි මස් බාබකිව් කරනකොට තියෙන්නම ඕනී පලතුරක් තමයි අන්නාසි. පිච්චෙන මස උඩට අන්නාසි ජූසි කියන්නේ හොඳට කැපෙන ආදර යුවලක් වගේ. මුහුවෙනකොට ලව් වෙනකොට වෙලෙනකොට බලා ඉන්න ලස්සනයි රහයි වගේ තමයි මේ සුසාංයෝගන ආලිංගනය.. කෑම අස්සේ කෑම කෑම ලව් නොකළොත් කෑම රහා නෑ සුදා.. ඒක අමතක කරන්න එපා… සුසානය ගැනම කතාකරන මේ කාලේ අන්නාසි රස එක්ක සයනයට යන්න පුලුවන් නම් ජූසිමය සාත්ත්‍රී තමයි..

ඉස්සර අපේ ගෙවල් කිට්ටුව මහා විශාල ගල් යායක් තිබුණා. ගල් අන්නාසි ඕසෙට හිනාවෙනවා ඕනී කාලෙක. ගල් ගහනවා වගේ තමයි ඉස්සර අපි ගලේ ගහලා අන්නාසි කන්නේ. දැන්නම් ඒ අන්නාසි වනාන්තරය එක්කම ඒ ගල්නාසි දූව පොළව අස්සට අතුරුදන් වෙලා. ඒක දැන් අන්නාසි රස මතකයක් විතරයි..එතනින් යනකොට දැන් රස සෝකයක්.. රස වියෝගයක්..

මම වගේම නෙක රසට සුවඳට පිස්සුවට අන්නාසි කන අය ඕනී තරම් ඇති. අන්නාසි බැදුමේ ඉඳලා චට්නියේ ඉඳලා සැලඩ්වල ඉඳලා ඉතිං අන්නාසි කියන්නේ අතීතයේ ඉඳම අපේ දිවාග හිනාවුණ පලතුරක්. ඒ අන්නාසි රස සාගරේ කෙළවරක් නෑ. ඒක ජූසිමය රහවත් මතක ගොඩක්. හැඟීම් පැණියක්…

ඉතිං දැන් අන්නාසි කොවිඩ් වලට හොඳම හොඳයි කියන හින්දා අපි කමු එක එක විදිහට අන්නාසි.. ඔය කඩේ තියෙන මෙලෝ රහක් නැති බොයිලර කුකුලාවෙක් උනත් අන්නාසි එක්ක සමන්නලා පුලුස්සලා කාලා බලන්න.. රස.. අන්නාසි නෝනෙක් දෙකට පළලා අන්නාසි ටිකක් අයින් කරලා චූටි කෑලි කුකුලා මිරිස් ගම්මිරිස් නෙක රස කුඩුම අමුනලා අතුරාලා අස්සට දාලා සීල් කරලා පුච්චලා දෙබෑකරලා කන්නකෝ බලන්න.. අර ගාලා අයින් කරගත්ත රස ටිකත් දාගන්න.. දිව්‍යලෝක රස දිවට..

අන්නාසි ක්‍රිස්පි කාලා නැත්තං හදං කන්න රෝස්ටඩ් අන්නසී කියන්නෙත් ඉතිං මත් එකක්.. තායි අන්නාසිය රයිසිය මොන්ගෝලියන් අන්නාසි රයිසිය කාලා ඇති ඇත්තෝ නොදන්නවා වෙන්ට බෑ අන්නාසි රස.. අන්නසි සයිස් වර්ගම කොච්චර ද ලෝකේ.. ලෙමන් ජින්ජර් වගේ කෑලිත් පූට්ටු උනාම තවත් රස වල්ගේ දිගට දිගේ දික් වෙනවා. මෙහෙම රසට රසේ එක එක විදිහට කනකොට දිව දික්වෙනවා. දිවේ තව තව රස කලාප ඕපන් වෙනවා. ඉතිං අන්නාසිවලට සැලියුට් වේවා කියලා ඔන්න රහා බලන්න ඕනී. දකුණු වෙරළට ඉස්සර ගියාම අන්නාසි නෙක රසට කන විදෙස් ලියන් දකින දසුනත් අන්නාසි වගේම රහයි. ඉතිං මම ඒකට අන්නාසි එක්ක සෙල්ලමටම හිත ගැහැනු දරුවන්ගේ පොටෝස් ටිකකුත් නිකං එල්ලනවා.. එතකොට අන්නාසි තවත් රස වෙයි.

ඕනී වල් මසක් අන්නාසි එක්ක මාට්ටු කරලා ගින්දර ටිකක් උඩින් තියලා බලන් ඉන්න තියෙන්නේ. මුලින්ම නහය තමයි සැප ගන්නේ. ඊළඟට ඉතිං දිවට සැප. දෙහි ටිකක් උඩට මිරිකරල ගත්තාම දිව්‍ය ලෝකයට මෙහායින් සූස්තියක් ගහලා පාවෙන්නැහේ පාවෙන්න ඇහැකි. අන්නාසි කීවාම සී එකකින් ඉවර වෙන්නේ අමතක කරන්න එපා මේ සී එක. රස තමයි ඉතිං..

අනික ඉතිං අන්නාසි කනවා විතරක් නෙවෙයි එක එක රසට එක එක මතට බොන්නත් පුලුවන්. හරිය. කොක්ටේලයන් හදන්නත් පුලුවන්. කුස්සියේ රස විද්‍යාව ඇහැක්නම් කලවන් කොරඤ්ඤයි තියෙන්නේ.. මින්ට් කොළ බැසිල් කොල වගේ කොළ ජාති සිරප් වර්ග එක්ක එකට තිබ්බාම අන්නසි ජූසිය තවත් සූත්තියක් තමයි.. මේවා නිකං මෙහෙම උඩින් උඩින් කියවන් යන්නේ ලොක්වීලා ඉන්නකොට දිව ලොක් නොකරගන්න. නැත්තං දිවේ රස අංකුරවල මකුළු දැල් බැඳෙයි..

යමං පුතා….

More Stories