දිඹුලාගල හදපාන්විල විල්ලු ජලාශයේ රුපියල් කෝටියක පමණ වියදමින් මීට වසර දෙකකට පමණ ඉහත දී ඉදි කළ   බැම්ම ගංවතුරට කඩාගෙන යාම නිසා එම ජලාශයේ ධීවර ‍රැකියාවෙන් ජිවත් වූ ගොවි පවුල් 150 කට අයත් පුද්ගලයින් 900ක් පමණ අන්ත අසරණ වී ඇතැයි හදපාන්විල විල්ලු ජලාශයෙ ධීවරයෝ පවසති.

ජලගැලුම් නිම්න ජාතික වනොද්‍යානය තුළ පිහිටි ඉතාම සුන්දර විල්ලු පද්ධතියක් වන මෙම හදපාන් විල්ලුව ලංකාවේ ඇති විශාලතම විල්ලුව ද වන අතර එහි ධීවර කටයුතු කරගෙන යාම සදහා අවට ගම්මානවල ගොවි පවුල් 150කට අයත් පුද්ගලයින් ‍රැසක් ම දිනපතා මෙම විල්ලුවට පැමිණෙති.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලංකාරය වැඩි කරන සුවිශේෂි පරිසර පද්ධතියක් වන හඳපාන් විල්ලුව ස්වභාවික විල්ලු පද්ධතියේ එක් සුන්දර පරිසර පද්ධතියකි.එහි සුන්දරත්වය වැඩි වන්නේ විල්ලුවේ  ජලය සැම දිනකම පාහේ පිරී තිබෙන විටය.නමුත් ඇඩි ගංවතුර සමයේ මෙම විල්ලුවේ ස්වභාවික ජල රදවන කැඩී බිදී යාම නිසා වනජීවී දෙපාර්තමේන්තුවත් හඳපාන්විල්ලුව අවට ජීවත්වන ගම්මානවල වැසියනුත් එක්ව මෙම විල්ලුවේ ජලය වනසතුන්ට ප්‍රයෝජනවත් වීම සදහා ත් ඉන් වක්‍ර ලෙස ධීවර කර්මාන්තය දියුණු කර ගැනීම සදහාත් වේල්ලක් බැද කොන්ක්‍රීට් ඈනිකට් එකක් ඉදි කළ හ.එයින් පසු මෙම විල්ලුව මහා සාගරයක් මෙන් වසරේ සෑම කාලයක දීම පාහේ ජලයෙන් පිරී සුන්දරත්වය වැඩි කරන පරිසර පද්ධතියක් බවට පත් විය.

එහෙත් ඉකුත් සමයේ ඇති වූ මහ වැසි හේතුවෙන් එක් වරම ඉහළ ජලාධාර ප්‍රදේශවලින් ගලා ආ මහා ජල කද මෙම බැම්ම කඩා බිද දමාගෙන පහලට ගලාගියේ ය.එහි ප්‍රතිපලයක් ලෙස දැන් විල්ලුවේ ජලය රදන්නේ නැත.ජලය නො‍රැදීම නිසා එහි මතශ්‍ය සම්පත අහළට ගලා බසින ජල ධාරාව ඔස්සේ මහවැලි ගඟට වැටී පහළට ගලාගෙන යයි.

එහෙත් දැන් එම ජලාශයෙන් ජීවිකාව ගෙන ගිය ධීවර පවුල්වලට ජීවිතය ගැටගසා ගැනීමට මාලි කූරියෙක් අල්ලා ගැනීමට දහදුක් විදින්නට සිදු ව තිබේ.හඳපාන් විල ධීවර සමිතියේ ලේකම්වරයා ඇතුළු ධීවරයින් සිය දුක  මෙසේ අනාවරණය කළ හ.

ආර්.එම්.ප්‍රියංකර රත්නායක(47)

හඳපාන්විල ධීවර සමිතියේ ලේකම්.

“මේ හඳපාන් විල්ලුව ජලාශයේ බැම්ම කඩාගෙන ගිගිල්ලා ටික කාලයක් වෙනවා.ධීවර පවුල් 150ක් පමණ මේ ජලාශයේ මසුන් මැරීමෙන් තමයි ජීවත් වෙන්නේ.ජීවිතේ ගැටගහගන්න පෝෂණය වන පිරිස 900ක් පමණ වෙනවා.දරුමල්ලන්ට ඉස්කෝලේ යන්න ගෙදර බතක් ඉදෙන්න මේ රස්සාවෙන් තමයි ඒ හැම දෙයක් ම කරන්නේ.

නමුත් මේ ජලාශය කඩාගෙන ගියාට පස්සේ දුවාදරුවන් එක්ක අපි හැමෝම අන්ත අසරණ වෙලා ඉන්නේ.අපි කිහිපවිටක් ම මේ ගැන බලධාරින්ගේ අවධානය යොමු කළා.නමුත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නෑ.කාගෙවත් අවධානය අපේ පවුල් කෙරෙහි යොමු වුණේ නෑ.අපේ ඉල්ලීම වෙන්නේ මේ කැඩී බිදී ගිය බැම්ම හදලා දෙන්න.

එතකොට විල්ලුවේ වතුර ‍රැදෙනවා.ඒක මාලුන් ට ජීවත් වෙන්න පරිසරයක් ගොඩනගාදීමක්.දැන් වතුරත් එක්ක මාලුත් ගහගෙන යනවා.මහවැලි ගඟට.මාලු නෑ.” හෙතෙම කියන්නේ ය.ධීවරයාට කුඩමස්සෙකුවත් අල්ලා ගැනීමට නොහැකි තැනට දැන් පත්වී ඇත්තේ ස්වභාවික ව ඇති වූ විපතක් හේතුවෙනි.මේ විපතෙන් ගලවා දෙන්නට යැයි ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.විල්ලුවෙන් ප්‍රයෝජන රාශියක් ගත හැකි බවත් ඉන් වැඩිම ප්‍රයෝජනය මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම සදහා මිරිදිය මසුන් වගා කිරීමට සුදුසු පරිසර පද්ධතියක් වීමය.

බී.ඒ.ජී.සමන්ත උදය කුමාර(41) අංක 193, මගුල්දමන,

දැනට මේ හඳපාන් විල්ලුව අමුනේ බැම්ම කඩාගෙන ගියා මීට මාස කිහිපයකට කලින් ආව ලොකු ගංවතුරකට.ඊළග මම වැස්ස වැටෙනකල් හිටියොත් මේ තියෙන ඇනිකට් එකත් වතුර පාරට ගලවාගෙන යනවා.දැනටමත් හෝදාගෙන ගිහිල්ලා තියෙන්නේ.ගම්මාන 4ක් නියෝජනය වෙනවා.මගුල් දමන ,පැලැටියාව,සොරුවිල,යක්කුරේ යන ගම් 4 ම ඒකාබද්ධව තමයි මෙහි ධීවර කටයුතු කරන්නේ.

අපේ සමිතිය හරහා.තවත් ගම්මාන කිහිපයකම අය මේ ජලාශයෙන් ජීවත්වෙනවා.ගල්ලෑල්ල පැත්තේ අයත් එනවා.මේ වෙනකොට මේ ජලාශයේ මාලු නෑ.මාලුන්ට ඉන්න වතුර නෑ.වතුර බැහැලා ගිහිල්ලා මාලුත් එක්කම.අගල් 4ක් 5ක් වගේ තමයි වතුර තියෙන්නේ.දැන් අපේ ධීවර ‍රැකියාව කරන අයට මාලු කිලෝ 4ක් 5ක් තමයි දවසකට අහු වෙන්නේ.වෙනදට දිනකට මාලු කිලෝ 70ක් 80ක් එක්කෙනෙක් අල්ලනවා.

මේ ජලාශයේ වතුර ටික නිකන් අපතේ යන්නේ.මේ වතුර පාර කඩාගෙන යන්නේ රක්ෂිතය හරහා මහවැලි ගඟට.අපි කියන්නේ මේ වතුර රදවලා දෙන්න.අපි පවුල් 150ක් ධීවර සමිතියේ සාමාජික වෙලා හිටියත් පවුල් 700ක් පමණ ජීවත් වෙනවා.මේක ලංකාවේ තියෙන ලොකුම විල්ලුව.සුන්දරම විල්ලුව.අපි ල්ල්ලීමක් කරනවා වර්තමාන ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මැතිතුමාගෙන් අගමැතිතුමාගෙන්.මහවැලි ,ඇළවේලි සංවර්ධන රාජ්‍ය ඇමති සිරිපාල ගමලත් මැතිතුමාගෙන් මෙක ඉක්කනින් අපට හදා දෙන්න කියලා.

අපි අවස්ථා ගනනාවක දීම මේ ගැන බලධාරින්ට කිව්වා.අපි සමිතියේ මුදල්වලින් කරන්න බැලුවත් ඒ තරම් මුදලක් අපට නෑ.අපේ ශ්‍රම දායකත්වය දීලා තමයි මේක මුල් කාලේ හැදුවේ.පහුගිය කාලේ කොරෝනා උවදුර නිසා ආර්ථික වශයෙන් පීඩා වින්දත් අපට එහෙම වුණේ නෑ.මේ ජලාශයෙන් ජීවත් වුණේ.මේ ජලාශය ශක්තිමත්ව අපිව පෝෂණය කළ නිසා.නමුත් දැන් ඒක කඩාගෙන ගිහිල්ලා.අපේ ජීවිත කඩා වැටිලා.අපට ජීවත් වෙන්න තියෙන එකම ජීවන මාර්ගය මෙය.අපට මේ ජලාශය හදා දෙන්න කියලා ඉල්ල සිටිනවා.”

ධීවරයාට කුඩමස්සෙකුවත් අල්ලා ගැනීමට නොහැකි තැනට දැන් පත්වී ඇත්තේ ස්වභාවික ව ඇති වූ විපතක් හේතුවෙනි.මේ විපතෙන් ගලවා දෙන්නට යැයි ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.විල්ලුවෙන් ප්‍රයෝජන රාශියක් ගත හැකි බවත් ඉන් වැඩිම ප්‍රයෝජනය මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම සදහා මිරිදිය මසුන් වගා කිරීමට සුදුසු පරිසර පද්ධතියක් වීමය.ආගන්තුක පක්ෂීන් පමණක් නොව මෙරටට ආවේනික ශාක හා සත්ත්ව ප්‍රජාවක් ද පක්ෂීන් විශේෂ ද මෙම ස්වභාවික පරිසර පද්ධතිය තුළ ජීවත් වෙති.

විශේෂයෙන් ම සංසාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද සුදුසු ඉතාම මනරම් පරිසර පද්ධතියක් වන හඳපාන් විල්ලුව ආරක්ෂා කර ගැනීමට ද එහි ධීවර පවුල් හා අවට ගම්මානවල ජනතාව සංවිධානය කරවා ගැනීම ද ස්වභාවික පරිසර පද්ධතියටත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පාරිසරික සමතුළිතතාවට හා සුරක්ෂිතතාවට අවැසි ප්‍රජා දායකත්වයද මේ ඔස්සේ ලබා ගැනීමට ඉහළ හැකියාවක් ඇත.

එබැවින් ධීවරයින් පවසන්නේ මේ සුන්දර පරිසර පද්ධතිය ආරක්ෂා කර දී තමන්ගේ ජීවන වෘත්තියද ‍රැක දෙන ලෙසයි. ජලාශය ජලයෙන් පිරී පවතින විට දිනකට එක් ධීවරයෙක් මාලු කිලෝ 80ක් පමණ ඇල්ලීමට සමත් බවත් ඒ අනුව අඩුම තරමෙ දිනකට මෙම විල්ලුවෙන් මසුන් කිලෝ 40000 ක්   50 000ක් පමණ ඇල්ලිය හැකි බව ඔවුහු පවසති.එහෙත් ඒ සියල්ල අඩපන වී  ගොසිනි.

එස්.එම්.වීරකෝන් බණ්ඩා(51) හඳපාන් විල ,දිඹුලාගල.

“අපට මේ ජලාශයේ වතුර ටික රදවා ගන්න විදිහක් නෑ.ඒ නිසා මාලු නෑ.අපි ජීවත් වෙන්නේ අන්ත අසරණ විදිහට.අදත් මෙහෙම මාලු අල්ලන්න ආවට අහු වෙන්නේ මාලු කිලෝ 6ක් 7ක් විතර.මාලු නෑ.බැම්ම කඩාගෙන ගිය දා ඉදලා මාලුත් එක්ක වතුර ටික බැහැලා ගියා.දවසම කට්ට කාලා කිලෝ 10ක් 15ක් වත් අල්ලා ගත්තෙ නැත්නම් ජීවත් වෙන්න විදිහක් නෑ.එදා වේල හරි කර ගන්නේ මේ ජලාශයේ මාලු අල්ලලා.නමුත් දැන් අපට මාලු නෑ,රජයෙන් අපි ඉල්ලන්නේ මේ බැම්ම හදලා දෙන්න කියලා.” ධිවරයෙකු වූ වීරකෝන් බණ්ඩාධීවරයින්ගේ අන්ත අසරණකම හා දුක විස්තර කළේ ය.

හඳපාන්විල්ලුවේ ධීවර රස්සාව කරමින් පවුල රකින සී 51,මෛත්‍රීපුර ,මගුල්දමන යන ලිපිනයේ පදිංචි.කේ.ඒ.මහින්ද සිරිවර්ධන (47) යන අය මෙසේ පැවසීය

“මේ වේල්ල කඩාගෙන ගිහිල්ලා .දැන් මාලු අස්වැන්නක් නෑ.මේක බලධාරින් අවධානය යොමු කරලා මේ ලංකාවෙම විශාලම විල්ලුව.මේ බැම්ම හදලා දුන්නේ නැත්නම් ඊළග වැහි පටන්ගත්තාම අර කොන්ක්‍රීට් ඇනිකට් එකත් ගලවාගෙන යනවා.අපේ ජීවන වෘත්තිය මේ  බැම්ම කඩාගෙන යාමත් එක්ක අහිමි වෙලා.අපි ඉතාම ඕනෑකමින් බලධාරින් ගෙන් ඉල්ලා සිටිනවා මේ බැම්ම හදලා දෙන්න කියලා.”

වන ජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් පවසන්නේ  මෙම විල්ලුවේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමටත් අවට ගම්වල ධීවර ප්‍රජාව ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ ජීවන වෘත්තිය කරගෙන යාමටත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කොට මීට වසර කිහිපයක ට ඉහත දී වේල්ලක් ඉදිකර කොන්ක්‍රීට් ඇනිකට් එකක් ද ඉදිකළ බවයි.

එය පසුගිය වැසි සමයේ කඩාගෙන ගොස් හඳපාන්විල විල්ලුවේ ජලය නො‍රැදී පහළට ගලාවිත් මහවැලි ගගට එක්වී මුහුදට නිකරුණේ ගලාගෙන යන බව ද එහි නිලධාරියෙකු අප හා පැවසීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts