ගමට යන පාර හදන්නට ඉඩ දෙන්නේ නැති බව පවසමින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ පිරිසක්  බෙලිඅත්ත ප්‍රාදේහිය සභාවේ සභාපති සිරිල් මුණසිංහ(පො.ජ.පෙ.) මහතාට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදිනි.

බෙලිඅත්ත ගැටමන්න ‘නා පැලේ මංසන්ධියේ සිට බෝදරකන්ද’ දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත් සමගමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා මාර්ගයේ වැඩ නවත්වන ලෙසට කර තිබු ප්‍රකාශයකට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු  මෙලෙස විරෝධතාවයේ යෙදිනි.

ගැටමාන්න නා පැලේ මංසන්ධියේදී මෙම විරෝධතාවය පැවති අතර ඒ සදහා සියයක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.විරෝධතා කරුවන් පැවසුවේ දීර්ඝ කාලයක් තිස්සේ බෝදර කන්ද මාර්ගය අබලන්ව ඇති බවත් එය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භ කොට ඇති බවයි.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රතිසංස්කරණය කරන මාර්ගයට පැමිණ සේවකයින්ට වැඩ නවත්වන ලෙසට පවසා ඇති බවත් විරෝධතා කරුවෝ පැවසූහ.

සභාපතිවරයාගේ බලපෑම නිසා මාර්ගයේ වැඩ නැවතී ඇති බව පවසන ප්‍රදේශ වාසීහු වැඩි දරටත් පවසා සිටියේ වසර ගනනවක් තිස්සේ මෙම මාර්ගය අබලන් වීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.සභාපතිවරයාගේ මේ අත්තනෝමතික ක්‍රියාව නිසා මාර්ගයේ ප්‍රතිසංස්කරන නැවති අති බවද ඔවුහු පැවසූහ.

විරෝධතා කරුවන් බෙලිඅත්ත ගැටමාන්න මාර්ගය සුළු වේලාවක් අවහිර කොට තිබූ අතර බෙලිඅත්ත පොලීසියේ නිළධාරීන් පැමිණ මාර්ගය අවහිර නොකොට උද්ඝෝෂොණයේ යෙදන ලෙසටවිරෝධතා කරුවන්ට දැනුම් දුන්හ.පොලිස් නිළධාරීන් විරෝධතා කරුවන් අමතා පැවසුවේ මේ අවස්ථාවේ රට තුළ පවතින කොරෝනා උවදුර හමුවේ විරෝධතා පැවැත්වීම නීතිමය වරදක් බවයි.

පසුව විරෝධතාකරුවන් හමුවට බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක් කරනු ලැබීය. ප්‍රාදේශීය සභාපතිවරයා එහිදි කියා සිටියේ බෝදරකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇති සමාගම පාර හදන එක නවත්වා පස් අදිමින් සිටින බවයි. තමන් ඊට විරෝධය දක්වා මාර්ගයේ වැඩ නවතන ලෙසට පැවසූ බවද ඔහු පැවසීය.

ප්‍රදේශයේ ජනතාවට ප්‍රමිතියෙන් යුක්ත මාර්ගයක් ලබා දීම සදහා තමන් එසේ කළ බවත් ඉදිරියේදී ඉතා ප්‍රමිතිගත මාර්ගයක් ලබා දීම සදහා තමන් මැදිහත් වෙන බවද සභාපතිවරයා  පැවසීය. අනතුරුව විරෝධතා කරුවන් විසර ගියහ.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts