ඉංග්‍රීසි භාෂාවෙහි, දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය යන වචන තුනෙහි අර්ථය පුළුල් ලෙස විග්‍රහ කර ඇත්තේ මෙසේය.

දූෂණය: සාමාන්‍යයෙන් අල්ලස් ගැනීම හා සබැඳි වංක හෝ ප්‍රෝඩාකාරී ක්‍රියාව. වංචාව: සිතා මතාම මුළාකොට අසාධාරණ හා නීති විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම. ඥාති සංග්‍රහය: සුදුසුකම් පිලිබඳ තැකීමක් නොකොට, බලය සහිත තනතුරු වලට තම මිතුරන්, සගයන් හා පවුලේ අය පත් කිරීම.

ශ්‍රී ලංකාව නිදහස ලද විගසම වාගේ, පක්ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් සිටියදී අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් ස්වකීය අනුප්‍රාප්තිකයා වශයෙන් තම පුත්‍රයා පත් කිරීමට ගත් තීරණය ඉහත සඳහන් කළ තුන් ආකාරයම සම්මිශ්‍රව ඈත අතීතයේ සිදුවුණු ක්‍රියාවන් ගෙන් එක් ක්‍රියාවක් ලෙස සැළකිය හැක. අවස්ථාව පැමිණි විට ප්‍රති උපකාර කරනු ඇතැයි සිතා, ප්‍රථම ආණ්ඩුකාර ජනරාල් වරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් ගේ පත්වීම නිර්දේශ කිරීමට ඩී. එස්. සේනානායක මහතා එකඟවිය. මෙය දූෂණය, රැවටීම සහ ඥාති සංග්‍රහය යි.

සියලු දූෂණ ක්‍රියාවලට දේශපාලකයන්ට දොස් නැගීම පහසුය. එය මුළාවකි. දේශපාලකයන් දූෂිත, වංචාකාරී හා ඥාති සංග්‍රහය සිදු කරන්නන් යයි අපි තැවෙමු. එහෙත් , දේශපාලකයන් මෙම ගැටළුවෙහි එක පාර්ශවයක් පමණි. රාජ්‍ය සේවකයන් මෙන්ම සමස්තයක් වශයෙන් සිවිල් සමාජයද මෙයට වගකිවයුතුය.

මෙකී දුෂ්ට චක්‍රයේ තිබෙන අංග තුනම ශ්‍රී ලාංකික සමාජයේ ඉහලම තලයේ සිට පහළම තලය දක්වා වූ සෑම තැනකම දක්නට ඇත. දරිද්‍රතාවය සහ කුසගින්න යන හේතු මත පහළ තලයේ සිටින වැරදි කරුවනට සමාව දීමේ ප්‍රවනතාවක් ඇති අතර වඩා වැදගත්හු දඬුවම් නොලබාම පළා යති.

වංචා මර්දන කව වල දිගු කලක පටන් පිළිගත් සම්මත සිද්ධාන්තයක් වනුයේ වැඩ කරන ස්ථානයේ දී සිදු කරන වංචනික ක්‍රියා වලට අදාලව, ව්‍යාපාරික ලෝකයේ යොදා ගනු ලබන 10-10-80 සිද්ධාන්තයයි. මෙම සිද්ධාන්තය ට අනුව සේවකයන්ගෙන් 10%ක් සෑමවිටම සොරකම් කරයි. 10%ක් කොහෙත්ම සොරකම් නොකරයි. ඉතිරි 80%, තමා හසු නොවේ යැයි විශ්වාස කරන සෑම අවස්ථාවකම සොරකම් කරයි.

මෙම සිද්ධාන්තය, සංකල්පයක් ලෙස ලොව පුරා රටවල සමාජයේ සිදුවන දූෂණ සම්බන්ධයෙන් ඒ ආකාරයෙන්ම යොදා ගත හැක. එසේ වුවද, සමස්ත මූල්‍යමය හා සමාජමය කරුණු මත එම ප්‍රතිශත අගයයන් වෙනස් වේ. මෙම රචකයාගේ පුද්ගලනිශ්‍රීත අදහස අනුව නම් ශ්‍රී ලංකාවේ අල්ලස් නොගන්නා පුරවැසියන්ගේ ප්‍රතිශතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ඉක්මවන්නේ නැත.

කෙනෙකු විසින් සිදු කරනු ලැබූ වංචාවක් හෝ දුෂණ ක්‍රියාවක් සොයාගැනීම, නම්ගම් හෙළිදරව් වීම, ඉන් ලැජ්ජාවට පත් වීමට සිදුවීම සහ ඊට දඬුවම් ලැබීමට ඇති බිය, එවැන්නක් කිරීම වළක්වා ගත හැකි ශක්තිමත් නිවර්තකයකි. එහෙත් නීතියේ ආධිපත්‍යයේ සාධාරණත්වය මත නීතිය මගහැරයාමේ අපහසුතාව හෝ පහසුව ඇත. නීතියේ ආධිපත්‍යයට අනුබල සපයන ශක්තිමත් නිවර්තක සිංගප්පූරුව වැනි රටවල ඇත. නීතියේ ආධිපත්‍යය නැතිවීම සහ දුර්වල නිවර්තක නිසා ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දූෂණ වලට මග හෙළි පෙහෙළි වී ඇත.

මහජන බැංකු විගණකාධිපති වාර්තාව පිලිබඳ පසුගියදා පැවති කෝප් කමිටු විමර්ශනය අවස්ථාවේ දී දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය ට හොඳම නිදර්ශනයක් හෙළි විණි. චූදිතයන් වූයේ දේශපාලකයන් හෝ ඇමතිවරුන් නොව ඉහළම රාජ්‍ය සේවකයෝය.

මෙම උදාහරණය ගෙන හැර දක්වන්නේ එකී නිලධාරීන් කිසිවකුටත් ද්වේශ සහගත අරමුණකින් හෝ එදිරිවාදුකමක් ඇති නිසා නොව පටිගත කෙරුණු සම්පූර්ණ විස්තර ප්‍රසිද්ධ කර ඇති බැවිනි.

අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන, සංස්ථා, සහ රාජ්‍ය ආයතන වලද තත්වය මෙසේමය.

විශ්‍රාම වයසට එළැඹි සිටි බැවින්, මහජන බැංකුවේ එවකට සිටි අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී වරයාට, වසර අටක සේවයෙන් පසු මාස හයක සේවා දිගුවක් ලබා දී තිබිණ.සේවා දිගුව සඳහා ඉල්ලීම කර තිබුණේ එවකට සිටි සභාපති වරයා විසිනි. සභාපති වරයා පසුව, ආරක්ෂක ලේකම් වරයා ලෙස පත් කෙරුණු නමුත් මහජන බැංකුවේ අධ්‍යක්ෂ වරයකු ලෙස දිගටම රැඳී සිටියේය. පෙර කී සේවා දිගුව ඉල්ලා සිටීම සාධාරණීකරණය කිරීම උදෙසා හේතු ලෙස දක්වා තිබුණේ, වසර 32ක අත්දැකීම් සහිත වෘත්තීය බැංකු නිලධාරියකු වූ වර්තමාන සාමාන්‍යාධිකාරී වරයා පුහුණු කිරීමට බවය. ඒ වන විට මොහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා ලෙස ද කලක් කටයුතු කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු සභිකයකු මෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරයාද වන සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන පරිදි, අනෙක් බැංකු වලටද පූර්වාදර්ශයක් විය හැකි බැවින් සේවා දිගුව ඉල්ලා සිටීමට විරෝධය පළ කරන බව 2018 අගෝස්තු මස 17 වන දින කෝප් කමිටුව විසින් හිටපු සභාපති වරයාට උපදෙස් දී ඇත. 2018 ඔක්තෝබර් වන විට අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී වරයා විශ්‍රාම යන වයසට එළඹ සිටියේ ය. වෙනත් බැංකු වලට ද පූර්වාදර්ශයක් විය හැකි බැවින් මෙම නිලධාරියාගේ සේවා කාලය අවුරු 60 න් ඔබ්බට දීර්ඝ නොකරන ලෙසට කෝප් කමිටුව විසින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට (අමාත්‍යංශ ලේකම්) උපදෙස් දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාටද දන්වන ලෙස කෝප් කමිටුවේ ලේකම්ට නියම කරන ලදී.

එසේ වුවත්, හිටපු සභාපතිවරයා විසින් හය මාසයක සේවා දිගුව නිර්දේශ කර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර අමාත්‍යවරුන් වෙත 2018 අගෝස්තු මස 21 වන දින දන්වා යවා තිබේ. එහි හේතුව ලෙස දක්වා තිබුනේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා, සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පුහුණු කිරීමට බවය. මාස හයක සේවා දිගුව නොදෙන ලෙසට දින හතරකට පෙර කෝප් කමිටුව විසින් දුන් උපදේශය, අමාත්‍යවරුන් දෙදෙනාට යැවූ ලිපියේ සඳහන් කිරීමට හිටපු සභාපතිවරයා අපොහොසත් වී තිබුණි. කෝප් කමිටුව විසින් නුසුදුසු යැයි කියා තිබුණු සේවා දිගුව ලබා දීම සඳහා නිර්දේශ කළේ ඇයි දැයි සභාවේ සිටි හිටපු සභාපතිවරයාගෙන් විමසු විට ඔහු කීවේ තමාට ඒ පිලිබඳ හරි මතකයක් නොමැති බවය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක විසින් 2018 අගෝස්තු 29 වන දින, “අමාත්‍ය සටහන”, ක් මගින් සේවා දිගුව නිර්දේශ කර ඇත. අමාත්‍යවරුන් දෙදෙනාගේම අනුමැතිය පදනම් කර ගනිමින්, ඉල්ලා සිටි සේවා දිගුවට අනුමැතිය ලැබුණු බව භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් වරයා විසින් මහජන බැංකුවේ සභාපතිවරයා වෙත දන්වා එවා තිබුණි.

2019 අප්‍රේල් 15 වන දින අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයා ඉල්ලා අස්වී තිබිණ. ලියාපදිංචි අංකය KM 9238 දරන කාර්යාල රථය බැංකුවට භාර දෙන ලෙසටත් වසර පහකට පෙර රු . මිලියන 16.6 කට‍ මිලදී ගත්, ලියාපදිංචි අංකය CIA 4646 දරන BMW රථය, පොත් අගය වන රු. 113,698 ක් ඔහුගෙන් බැංකුවට අය කරගෙන ඔහු වෙත නිදහස් කරන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා 487/2019 ට අනුව අනුමැතිය ලබා දී තිබුණි. කෙසේ වුවද අස් වී ගිය සාමාන්‍යාධිකාරී වරයා මෙකී වාහන දෙකම රැගෙන ගොස් තිබිණ. BMW රථය සඳහා ගෙවූ මුදල පිලිබඳ විස්තර ඇසුවේ හෝ පැවසුවේ නැත. හිටපු අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයා විසින් අතිරේක මාස හයක සේවා කාලය සඳහා රු. මිලියන 15ක් ද, රු. මිලියන 37ක හිඟ වැටුපක්ද ලබාගෙන තිබිණ. ඔහුගේ සේවා කොන්ත්‍රාත්තුවේ 10%ක වාර්ෂික වැටුප් වැඩිවීමක්ද සඳහන් වී තිබිණ.

හිටපු අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයා විසින් ලියාපදිංචි අංකය KM 9238 දරන වාහනය රැගෙන ගියද, එය තවමත් බැංකුව භාරයේ තිබෙන බව වර්තමාන සභාපති සහ සාමාන්‍යාධිකාරී යන දෙදෙනාම තරයේම ප්‍රකාශ කර සිටියහ. හිටපු අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයා ඉතා දක්ෂ නිලධාරියකු බව දෙදෙනාම කියා සිටියහ. තවද ඔවුහු කියා සිටියේම කිසිදු අක්‍රමිකතාවයක් සිදු වී නොමැති බවත් ඉදිරියේදී නැවත එවැනි සිදුවීමක් නොවන බවත්ය.

හිටපු අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයා විසින් නීති විරෝධී ලෙස බැංකුවේ දේපල රැගෙන යාම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් නොකිරීමට හේතු මොනවාදැයි ඇසීමට කෝප් කමිටු සභාපතිවරයා අසමත් විය.

අමාත්‍යවරුන් දෙදෙනා නොමග යැවීමේ චෝදනාවට පිළිතුරක්, සභාපති සහ සාමාන්‍යාධිකාරී වරයා යන දෙදෙනාගෙන්ම එලියට ආවේ නැත. කෝප් කමිටුව විසින් විමර්ශනයට භාජනය කළ තවත් එක් කරුණක් වුයේ බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියයි. සිල්වර්ලේක්-Silverlake නමැති සමාගමකට ප්‍රදානය කළ එම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 11කි. ඉන් අනතුරුව , එකඟ වූ මුදලට අමතරව, වරින්වර සමාගම් තුනකට, මොඩියුල වෙනස් කිරීම, දෘඩාංග උපකරණ සහ අමතර සේවා වෙනුවෙන් රු. මිලියන 452 ක මුදලක් ගෙවා තිබිණ. මෙයින් රු. මිලියන 84ක මුදලක් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 149/2018 හරහා, ජිට් (JIT) නමැති ආයතනයකට ගෙවා තිබිණ.එම මුදල ඉන්වෙන්ට්‍රි රඳවා ගැනීම, සංචාරක කාර්ය මණ්ඩලය සඳහා නවාතැන්, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර, සංචාරක කාර්ය මණ්ඩලය සඳහා දෛනික යැපීම් දීමනා සහ 10% ක වට්ටමක් ද සඳහා බව ඉන්වොයිසියේ සඳහන් ව තිබිණ. කෙසේ වුවද, ඉන්වොයිසියක් හැරුණු විට, හෝටල් බිල් ,ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බිල් පත්, වවුචර යනාදී තහවුරු කිරීමේ ලේඛන කිසිවක් නොතිබිණ.සාමාන්‍යාධිකාරී වරයා පැවසුවේ බැංකුවේ හිටපු ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරියා විසින් ඉන්වොයිසිය සහතික කර, හිටපු අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත මෙම ගෙවීම කර ඇති බවය.

බැංකුවේ අත්වැරදීම නිසා ව්‍යාපෘතිය ප්‍රමාද වූ බව හිටපු සභාපතිවරයා විසින් මින් පෙර කෝප් කමිටුවට දන්වා තිබිණ. මෙම කාල සීමාව තුලදී සංචාරක කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු වී ඇත. ඉතිරි සමාගම් දෙකෙන් කිසිදු ඉන්වොයිසියක් විගණකාධිපතිවරයාට හමු නොවුණ ද, රු මිලියන 368 ක මුදලක් තව දුරටත් ගෙවා තිබිණ.

මෙම අවස්ථා දෙකෙහිදීම ඊට අදාළ වූ මුදල් ප්‍රමාණය රු මිලියන සිය ගණනිනි. මේවාට සම්බන්ධ වී ඇත්තේ දේශපාලකයන් නොවේ. රාජ්‍ය සේවකයන්ය. රාජ්‍ය සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ට කලමානාකාරුවන්ය. අනෙක් අය බැංකුකරුවන්, වෘත්තිකයන් සහ නීතිඥයන්ය. ඔවුනට ස්වකීය රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වීම මහජනතාවගේ විශ්වාසය කඩ කිරීමකි. ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්න වලට සට කපට පිලිතුරු දුන් අතර, අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී වරයාට සේවා දිගුව ලබා නොදෙන ලෙසට දින හතරකට පෙර කෝප් කමිටුව උපදෙස් දී තිබියදී අමාත්‍යවරුන් දෙදෙනෙකු නොමග යැවීමේ සිද්ධියේදී ගල් පැලෙන බොරු කීහ.

කෝප් කමිටු සභාපතිවරයාගේ අදහස වුයේ සේවා දිගුව ලබා ගත්තේ ජිට් (JIT) සහ අනෙක් සමාගම් දෙකට ගෙවීම් කිරීමට තිබුණු නිසා බවය. එවැනි ගෙවීම් සඳහා නිලධාරීන් විසින් කොමිස් ලබා ගන්නට ඇති බව හෙතෙම තවදුරටත් පැවසීය. වර්තමාන සභාපතිවරයා මෙන්ම හිටපු සභාපතිවරයා ද ඊට මුනිවත රැක්කේය. ප්‍රධානියා විශ්‍රාම යාමට මාස 6 කට‍ පෙර, සුදුසු අනුප්‍රාප්තිකයකු සොයාගැනීමටත් අවශ්‍ය නම් පුහුණුවක් ලබා දීමටත් අවශ්‍ය පියවර ගැනීම සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකු පවා කරන දෙයකි.

අධ්‍යක්ෂකවරුන් පත් කරනුයේ නීතිය, මූල්‍යය, අලෙවිකරණය, කළමනාකරණය, මානව සම්පත්, තොරතුරු තාක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර වල ඔවුන් සතුව ඇති ප්‍රවීණ දැනුම පදනම් කර ගනිමිනි. මෙම අවස්ථාවේ එයට බැංකු ක්ෂේත්‍රයද ආදාළ වේ.

ඉහත අධ්‍යක්ෂ මඩුල්ලේ ප්‍රවීණතාවය පිළබඳව විමසිල්ලට ලක් කිරීම සාධාරණය. ප්‍රධානියා විශ්‍රාම ගැනීමට මාස හයකට පෙර සාමාන්‍යාධිකාරීවරයකු පත් කර පුහුණු කිරීමේ අවශ්‍යතාවය මොවුහු හඳුනාගෙන නොතිබිණ. ඒ මතුදු නොව, අදාළ ලියකියවිලි නොමැතිව රු. මිලියන 452 ක මුදලක් ගෙවීම අනුමත කිරීමටද කටයුතු කළහ.

අපේ රටේ දූෂණය හා වංචාව ආරම්භ වන්නේ ජීවිතයේ මුල් අවදියේදී ම එනම් දරුවකු මෙලොව එලිය දැකීමටත් පෙරය. ශ්‍රී ලංකාවේ පාසල් වල ඇති විවිධ ප්‍රමිතීන් නිසා මව්පියෝ තවමත් කළල අවධියේ සිටින තම දරුවා යැවීම සඳහා සුදුසු පාසලක් සොයා ගැනීමට උපාය යොදති. ඉන්පසු තමා කැමති එම පාසල ආසන්නයේ ඇති නිවෙසක ලිපිනය සහ එහි වෙසෙන වැසියන් පිලිබඳ විස්තර තම දරුවාට කටපාඩම් කරවති. පාසලට ඇතුලත් කරගන්නා ක්‍රියාවලියේදී පාසල් බලධාරීන්ට බොරු කීමට දරුවා පුහුණු කරවති. ඉන්පසු, රට පුරා ඉහ වහා ගොස් ඇති දූෂණය දැක ඊට හේතු සොයයි. හේතුව නම් එය ආරම්භ වූයේ කලලයේ සිටමය. එය අපේ ලේ වල ඇත.

ශ්‍රී ලාංකිකයින් තව නොබෝ දිනකින්ම රටෙහි 8 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගනු ඇත. ප්‍රසිද්ධ චරිත කිහිපයක් මෙන්ම අප්‍රසිද්ධ චරිත දුසිම් තුනකටත් වඩා මෙවර තරඟයට අවතීර්ණ වී සිටියි. අපේක්ෂකයන්ගේ වැඩපිළිවෙළවල් මොනවාද යන්න පිළිබඳව විස්තර දිනපතා මුද්‍රිත, විද්‍යුත්,හා සමාජ මාධ්‍ය වලින් මහජනතාවට ලබාදේ. ආර්ථිකය යළි ගොඩනැගීම, රැකියා උත්පාදනය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම, වැටුප් වැඩි කිරීම,සහ අනෙකුත් සැලසුම් කරන ආකාරය පිළිබඳව අපේක්ෂකයෝ කෑ මොර දෙති. එහෙත් ශ්‍රී ලංකාව ලෝකයේ පාරාදීසයක් කිරීම සඳහා ඔවුන් කරන්නට සිතා සිටින මහා පරිමාන කාර්යභාරයන් කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගනුයේ කෙලෙසකදැයි කිසිදු අයෙක් හෙළි නොකරති.

දූෂණය පිටුදැකිය හැකි, වංචා මැඩපැවැත්විය හැකි සහ ඥාති සංග්‍රහය මුලිනුපුටා දැමිය හැකි වැඩසටහනක් ගැන කිසිදු අපේක්ෂකයකු කතා නොකරයි.

10-10-80 සිද්ධාන්තය පිලිබඳව නැවත හැරී බලමු. දූෂිත නොවන ගණයට අයත් කණ්ඩායමක් සතු අපේක්ෂකයෙක් අපට සිටීද? එවැන්නකු පැමිණිය හොත් එම අපේක්ෂකයාට සහ දූෂණය, වංචාව සහ ඥාති සංග්‍රහය මුලිනුපුටා දමන න්‍යාය පත්‍රයකට බහුතරයක් දූෂිතයන් සහ වැට උඩ සිටින්නන් සහයෝගය දක්වයිද?

රජීව ජයවීර

උපුටා ගැනීම – colombotelegraph.com

Similar Posts