ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී පරිසරට ‍රැක ගැනීමටත් ජලගැලුම් නිම්නය වර්තමානය වෙනුවෙන් නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ‍රැක ගැනීමටත් පෙරට එන්නැයි බල කරමින් පොලොන්නරුවේ හරිත පුරවැසියෝ සංවිධානය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් ඊයේ(03) පෙරවරුවේ පොලොන්නරුව දීප උයන අසල දී නිහඩ විරෝධතාවක නිරතවූහ.

ජලගැලිම් නිම්නය අප වෙනුවෙන් නොව දරුවන් වෙනුවෙන් ‍රැක ගනිමු,මාර්ගයක වුවමනාව ජනතාවට ද ජාවාරම්කරුවන්ට ද?

ඔබ අදීන පුරවැසියෙකු නම් පඹයෙක් වෙනුවට පරිසරය වෙනුවෙන් හිට ගන්න,සොබා දහමේ විනාශයට සංවේදී නොවන්නෝ අන් කිසිවකට සංවේදී නැත,මේ මහා හරිත උරුමය මිය ය්නු දකින්නට ඔබ සූදානම් ද?

ජාවාරම්කරුවන් ඉදිරියේ පඹයෙකු නොවී ඕබ ඔබම වන්න ආදි පාඨ ‍රැගත් විරෝධතාකරුවෝ පිරිස පඹයන් රාශියක් ද එක් කරගෙන තිබීම විශේෂිතය.මිනිසුන් වෙනුවට පඹයින් ට විරෝධතා පුවරු දී මුව ආවරණ පළඳවා මෙම විරෝධතාව දියත් කළහ.

එහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හරිත පුරවැසියෝ සංවිධානයේ ක්‍රියාකාරිනියක වන කාංචනා වේවැල්පන මෙනෙවිය මෙසේ කීවා ය.

“අපි හරිත පුරවැසියෝ පරිසර සංවිධානයෙන්.අපේ අරමුණ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට අයත් නොවන නිර්පාක්ෂිකව පරිසරය වෙනුවෙන් පෙනීසිටින්නන් විදිහට මේ අරගලය දියත් කරන්නේ.

මොකද විවිධ ආණ්ඩු බලයට ආවාම විවිධාකාරයේ පරිසර ප්‍රතිපත්තීන් එනවා.නමුත් පුරවැසියෝ විදිහට අපි දැනගන්න ඕන පරිසරය අපේ උරුමය සහ අපේ අනාගත පරපුරේ අනිවාර්ය උරුමය බවට.මේ වැනසෙන්නේ අපේ දේ නෙමෙයි.

අපේ අනාගත පරපුරෙන් ණයට අරගෙන තියෙන දේ.ඒ වෙනුවෙන් නාඩි වැටෙන්නේ නැති ඒ වෙනුවෙන් සවිඥානික නොවන සියලුම පුරවැසියන් නියෝජනය කිරීම සඳහා අපි මෙහි පඹයෝ හිටවලා තියෙනවා.

අපි විශ්වාස කරනවා මේ පඹයන්ට නාඩි වැටෙනවා කියලා මේ මොහොතේ මේ මහා දැවැන්ත පරිසර සංහාරයට එරෙහි නොවන සියලූම මානවයින්ට වඩා.

අපි පැහැදිලිවම පෙනී සිටින්නේ පරිසරය වෙනුවෙන්.මොකද අපි අනාගත පරපුරෙන් අද දවසට ණයට අරගෙන දෙයක් ඔබට මට හෝ කිසිවෙකුට අයිතියක් නෑ එය වනසා දමන්න.විශේෂයෙන් දේශපාලන කාරණා මත කිසිවෙකුට අයිතියක් නෑ දරුවන්ගේ හෙට දවස වනසන්න.

ජලගැලුම් නිම්නය කියන්නේ ඔබෙයි මගෙයි බූදලයක් නෙමෙයි එය අපේ අනාගත පරපුර වෙනුවෙන් සු‍රැකියයුතු දෙයක්.

පැහැදිලිවම මේ මොහොතේ නාඩි නොවැටෙන සියලූම පුලතිසිපුර වැසියෝ මේ පඹයන් නියෝජනය කරනවා.” පින්තුරවල දැක්වෙන්නේ එම පඹයන් පිරිවරාගත් විරෝධතවේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Similar Posts