පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල හා මාදිවෙල නවරෝහල මාර්ගයේ අපරීක්ෂාකාරී අන්දමින් මහජනයාට පීඩාවක් සිදුවන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් මහා මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහන වල ගමන් කරන්නන්ට මරණීය අණතුරු ඇතිවන අයුරින් මාර්ගයේ යතුරුපැදි ධාවන තරග පැවැත්වූ තරුණයින් පිරිසක් යතුරුපැදි විසිතුනක් ද සමග මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ රථවාහන අංශය පැවසීය.
මෙම තරුණයින් මුහුණු පොත (facebook) උපයෝගී කරගනිමින් විවිධ ප්‍රදේශයන්හි පදිංචි තරුණයන් කැඳවා දිනපතාම රාත්‍රි දහයෙන් පසුව හෝ ඉරු දින සන්ධ්‍යාවේදී යතුරුපැදි තරග පවත්වන බවට ලද තොරතුරක් මත මෙහෙයුමක් දියත් කොට මෙම තරුණ පිරිස් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
මෙවැනිම ආකාරයෙන් මහා මාර්ගයේ යතුරු පැදි ධාවන තරඟ පවත්වා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ජීවිත තුනක් බිලිගත් ආකාරයටම තවත් අනතුරක් සිදුවීමට තිබූ අවස්ථාව පොලිස් නිලධාරීන් විසින් වැලැක්වූ බව ප්‍රදේශවාසීන් පැවසීය.
අත්අඩංගුවට ගත් යතුරු පැදි අතර එන්ජින් ධාරිතාවය 250cc ප්‍රමාණයේ සිට 1000cc දක්වා යතුරුපැදි තිබූ බවත් මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි යතුරු පැදි විවිධ වංචා සහගත මාර්ගවලින් ලියාපදිංචිකර ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පැවසීය.
ස්කූටර් වර්ගයේ යතුරු පැදියක අංක තහඩුවක් භාවිතා කරමින් අත්අඩංගුවට ගත් එක් යතුරු පැදියක් ධාවනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගත් බවත් ව්‍යාජ අංක තහඩු, චැසි අංක, එන්ජින් අංක, යොදාගෙන මෙම ක්‍රියාවන් සිදුකර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් සිදුකරන බවත් ලංකාව තුළ මෙම යතුරුපැදි යොදා ගනිමින් මොනයම් ආකාරයේ හෝ අපරාධ සිදුකර ඇද්දැයි පරීක්ෂණ කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදෙන බවත් පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් යතුරු පැදි විශාල ප්‍රමාණයක් ජපානයේ නිෂ්පාදිත ඒවා බවත් අත්අඩංගුවට පත්වූ තරුණයින් වයස අවුරුදු 19 හා 27 වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් පරීක්ෂණ වාර්තා ලැබූනු පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැවැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීල් චමින්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 2877 ප්‍රියන්ත, 7056 ඉන්දික, 50196 වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් 87646 තාරක, 81910 රුවන්, 31944 අධිකාරි, 3759 දිල්ශාන්, 21191රවිදු, 93479 පිටදෙනිය යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව