udgosana

පොලොන්නරුව රජයේ බීජ ගොවිපලේ වසර දහයක් තිස්සේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් පිරිසක් ඉන් ඉවත් කොට ඒ වෙනුවට රජයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායේ සේවකයින් යොදවා තමන්ව දොට්ට දමා ඇතැයි කියමින් එහි  සේවකයින් පිරිසක් පොලොන්නරුව බීජ ගොවිපල ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුනහ.

උද්ඝෝෂකයන් පවසන්නේ තමන් මීට වසර 10කට පමණ ඉහත දී කොන්ත්‍රාත් පදනම යටතේ පොලොන්නරුව රජයේ බීජ ගොවිපලේ කම්කරුවන් ලෙස සේවයට එකතු වූ බවත් 2019/29 රාජ්‍ය පරිපලන චක්‍රලේඛයට අනුව අනියම්,තාවකාලික කොන්ත්‍රාත් පදනම්වල සේවකයින් ස්තිර කරන බවට රජය පැවසුවත් මේ වන විට ‍රැකියා ලක්ෂයේ වැඩසටහනේ ‍රැකියාලාභීන් පිරිසක් බීජ ගොවිපලට එවා තමන් එලියට දමා ඇති බවත් ය.

“අපිට ගොඩක් දුක අපි අතපය ගෙවෙනකල් මේවයෙ වැඩ කළා.කොරෝනා කාලේ කවුරුවත් පැත්ත පළාතේ ආවෙ නෑ.අපි තමයි වැඩ කරලා මේවා ගොඩ දැම්මේ.අපේ අත් පුරා කර ගැට එනකල් කකුල් ගෙවෙනකල් වැඩ කළා.ඒත් දැන් කාර්ය සාධනෙන් ගෙනත් දාලා අපිව එලියට දාලා.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අපිට යන්න කියලා.කොරෝනා කාලේ ස්තිර සේවකයෙක්වත් ආවෙ නෑ.

අපි මේවයෙ වැඩ කළේ.එහෙම වැඩකරපු අපි එලියට දාලා.අපි සේවකයින් 48ක් එලියට දාලා.කාර්ය සාධන බලකායෙන් අපේ පුරප්පාඩු ගාණට මිනිස්සු දාලා.ඇමතිතුමා අපට පොරොන්දු වුණා 560කට පත්වීම් දෙනවා කියලා.නමුත් එතුමාවත් ඒක කළේ නෑ.පේරාදෙනිය ප්‍රධාන කාර්යාලයෙන් කිසිම දෙයක් කරන්නේ නෑ.අපි ඉල්ලන්නේ අපි දරු පවුල ‍රැක්කෙ මේ රස්සාවෙන්.

දැන් අපි මහ පාරට වැටෙනවා.අව්ව වැස්ස නැතුව අපි මේකේ වැඩ කළේ.අවුරුදු 10ක් වැඩකරපු අපි අයින් කරලා අලුතෙන් කාර්ය සාධනෙන් ගෙනත් දාන්නෙ ඇයි.?

අපි ඉල්ලන්නේ කැරකෙන පු‍ටුවල ඉඳගෙන හුළං වදින්න නෙමෙයි මේ ගොවිපලේ කුඹුරු කොටන්න .ඒකවත් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.මුලු ලංකාවෙම කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නේ 1500යි ඒ අය ස්තිර කරලා දෙන්න.‍රැකියා ලක්ෂයක් දෙනවා කියලා කාර්ය සාධනෙන් අපේ රස්සාවට තට්‍ටු කරන්න එපා.”යැයි ද විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ.

මෙහි දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2020.11.23 වන දින එවන ලද ලිපියකට අනුව බහුකාර්ය සංවර්ධන බලකාය මගින් තමන්ගේ ‍රැකියාවලට අදාළ පුරප්පාඩු පුරවන බවත් දන්වා එවා ඇති බවයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts