වර්ෂ 2031දී සමස්ථ මහජනයාට පිරිසිදු ජලය ලබාදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ඉලක්කය අභිබවා යමින් ඉදිරි සිව්වසර තුළදී සැමට පිරිසිදු ජලය ලබාදීමට රජය ක්‍රියාකරන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
එම ඉලක්කය සපුරාලීම සඳහා ඉතිහාසයේ පළමුවරට අය වැය මගින් රුපියල් බිලියන දහසක මුදලක් ජල සම්පාදන ක්ෂේත්රය වෙනුවෙන් වෙන් කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති පානීය ජල ගැටලු විසඳීම සඳහා වන සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය සපුරාලන තුරු ජනතාවට බලා සිටිය නොහැකි බැවින් මහජන හිතවාදී රජයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවත් ඒ අනුව හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව ජලය ලබාදිමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව ඒ මහතා කීවේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට මේ වන විට ජල සැපයුම් ලබාදීමට හැකියාව ලැබී ඇත්තේ මෙරට සමස්ථ ජනගහනයෙන් සියයට පනස්තුනක් පමණ ප්‍රමාණයක් යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සියලු ප්‍රදේශ සඳහා ජලය ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැලසුම් කර ඇතැයි කීවේය. එහිදී ජාතික ජල සම්පාදන මණ්ඩලයට ළඟා කර ගැනීම අසීරුවන ඉල්ක්කයන් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතනවල මැදිහත්වීම මත සිදුකරන බව ඒ මහතා කීවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක අනුව යමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පිරිසිදු පානීය ජලය ලබා දෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි ගුණාත්මක හා පිරිසිදු ජලය ලබාදීමට සඳහා සියලු ජල මූලාශ්‍ර රැක ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව කීවේය.
ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කරන මුදල්වල කිසිදු ප්‍රමාදයක් නොකරන බව පැවසූ අමාත්‍යවරයා, ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ප්‍රාදේශීය ජල කමිටු පිහිටුවීම හා ජල මූලාශ සොයා ගැනීම, ඉඩම් නිරවුල් කිරීම ඇතුලු මූලික කටයුතු සාකච්ඡා මාර්ගයෙන් හා ප්‍රමාදයකින් තොරව සිදුකර ගන්නා ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම ප්‍රජා මූල සමිති මගින් ඉතාමත්ම කාර්යක්ෂම අයුරින් සිදුකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යම් කලකදී එම ජල සැපයුම් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සම්බන්ධ කර ගැනීමට සිදුවුවහොත් එම සමිතිවලට කිසිදු අසාධාරණයක් සිදු නොවීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාර්මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයන කිරිඳිගොඩ මහතා, තිලක් ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුලු මහජන නියෝජිතයන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ජල කමිටු නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර