වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන් කමිටුවක් පත් කොට ක්‍රියාත්මක කර ඇතැයි කීවේය.

ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් භාවිතය හදුන්වාදීම නිමිත්තෙන් මහනුවර දී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

වන විනාශයට වරදකරුවන් වූ පාර්ශව සඳහා උපරිම දඩුවම් ලබා දෙන බව කී අමාත්‍යවරයා එහිදී පක්ෂ පාට ආදී කිසිදු භේදයක් නොසලකන බව ද කීවේය. එමෙන්ම ඇතැම් පාර්ශව දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා චෝදනා කරන බව කී අමාත්‍යවරයා,  ජනාධිපතිවරණයට පූර්වයෙන් වර්ෂ 2014 අවසන් භාගයේදී ද මෙවැනි චෝදනා එවකට රජයට එල්ලවුණු බව කීවේය.

දිගින් දිගමට සිදුවන පදනම් විරහිත චෝදනා බොහෝ අවස්ථාවලදී ජනගත වී ඇතැයි කී අමාත්‍යවරයා, මාධ්‍යවේදියෙකු පැහැර ගැනීම පිළිබද චෝදනාව ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී බිහිවූ කිඹුලන්ට ආහාර පිණිස මිනිසුන් දැමීම වැනි ගොතන ලද කථාවක් යැයි කිවේය. කිසිදු අයුරකින් මාධ්‍යවේදියෙකු පැහැර ගැනීමක් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ ඔහු රංගනයක් කිරීමක් යැයි කී ඒ මහතා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවනු ඇතැයි ද කීවේය.

මැතිවරණවලට බිය නොමැති වත්මන් ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් යැයි කී ඒ මහතා ඡන්ද කල් දැමීම පිළිබදව විමසිය යුත්තේ අපෙන් නොව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයෙන් යැයි කීවේය. පළාත් සභා ඡන්දය කල් දැමීම සඳහා රාත්‍රී කාලයේදී පවා සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂය රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් වැනි පක්ෂ නායකයන් ද රාත්‍රී කාලයේදී ගෙන්වාගෙන ඡන්දය කල් දැමීම පිළිබද අවසන් තීරණයට එළැඹි බව කීවේය.

ඉන්දියාව සමඟ ගිවිසුම්ගතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පළාත් සභා බිහිවූ බව කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවක අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමේ සදාචාරාත්මක වගකීමක් අපට පැවරෙන බව ද කීවේය.

ඉන්දියාව හිමිකම් ඉල්ලා සිටින කච්චතිව් දූපත සම්බන්ධයෙන් කිසිදු අවසන් තිරණයක් ගෙන නැතැයි කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඉන්දියාවේ වරින් වර බිහිවන දේශපාලනික සන්ධිස්ථානවලදී ඔවුන් එම දූපත සිය දේශපාලන මාතෘකාවක් බවට පත් කර ගන්නා බවද වැඩිදුරටත් කීවේය.

විද්‍යුත් මුදල් ක්‍රමය හදුන්වාදීමේ අවස්ථාව සඳහා මහනුවර පුරපති කේසර සේනානායක මහතා , ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේෂලා ජයවර්ධන මහත්මිය, නව QR කේතය පිළිබද කමිටුවේ සභාපති සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අංශයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා ඇතුලු පිරිසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts