මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන රසික රුවන් කුමාර විජේතුංග නොහොත් නේවි රුවන් නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑම සඳහා සහාය දක්වන සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 200ක් යතුරුපැදියක් ද සමග වැලිසර ලය රෝහල ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන් තමන් සේවය කරන බවත් වැලිසර ලය රෝහලේ පොලිස් මුරපොළේ විශේෂ හදිසි රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි බව සැකකරු ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු ජයන්ති මාවත, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (35)ක් වන පුද්ගලයෙක් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම නිවස සෝදිසි කිරීමේදී නිවසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 286 මිලිග්‍රෑම් 22ක් අඩංගු පාර්සලයක් සොයා ගැනීමට හැකිවූ බවත් අත්අඩංගුවට ගත් මුලු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 393යි මිලිග්‍රෑම් 330 වන අතර මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න බවත් පොලීසිය පැවසීය.
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී නේවි රුවන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු ලෙස තමන් ක්‍රියා කළ බවත් එම ජාවාරම්කරු ගෙන් ලැබෙන මත්ද්‍රව්‍ය සඟවා තබාගැනීම හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මත්ද්‍රව්‍ය වෙනත් කෙනෙකු විසින් ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂාව සැපයීම සිදුකර ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් වූ මෙම පොලිස් නිලධාරියා සන්තකයේ තිබී ඔහුට අයත් පොලිස් නිල හැඳුනුම්පත, පොලිස් නිල ඇඳුම් කීපයක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 10,220/= මුදලක්, පිස්තෝල රඳවනයක්, අත් විලංගුවක යතුරක්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට අයත් නිල මුද්‍රාව තැබූ හිස් ඇඳිරි නීති බලපත්‍ර කොලයක්, එන්ජින් අංකය හා චැසි අංකය වෙනස් කර තිබූ කළු පැහැති බජාජ් සීටී 100 වර්ගයේ යතුරුපැදියක්, රියදුරු බලපත්‍රය භාරගෙන පොලිස් නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන තාවකාලික රියදුරු බලපත්‍ර කොළයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා මත්ද්රව් මෙන්ම ඔහු සන්තකයේ තිබූ සියලු බඩු බාහිරාදිය වැඩිදුර පරීක්ෂණ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා ලබාදීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව