මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ ප්‍රදේශයෙ ආනන්ද බාලිකා විද්‍යාලය මාවත ආසන්නයේ මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීම සඳහා යෙදූ මාර්ග බාදකයකදී පැමිණි සැකකටයුතු මෝටර් රියක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයින් තිදෙනෙක් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් මුදල් මෙන්ම පවුම් 230 බරති රන් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරුවන් පිරිස කෝට්ටේ ආනන්ද බාලිකා මාවත පෙදෙසේ මාසිකව රුපියල් ලක්ෂයක මුදලකට කුලී පදනම මත ලබාගත් නිවසක සිට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් ප්‍රධාන සැකකරුට මේ වන විටත් මහ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක් ඇති බවත් පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරු ඇතුළු ගෝලයින් තිදෙනා බොරැල්ල මැගසින් පාර ප්‍රදේශයේ සහ බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (21) සිට (29) දක්වා වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සන්තකයේ තිබි මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් දෙලක්ෂ එකොළොස් දහස් අටසියහැටක මුදලක් සහ හෙරොයින් ග්‍රෑම් දහයක්, පවුම් 230ක් බරැති කැරට් 22 රන් භාණ්ඩ තොගයක්, මත්ද්‍රව්‍යවල බර කිරීමට උපයෝගී කරගන්නා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික් තරාදියක්, මත්ද්‍රව්‍ය එතීමට උපයෝගී කරගන්නා කඩදාසි තොගයක් මෙන්ම ප්‍රධාන ජාවාරම්කරුට අයත් සුඛෝපභෝගී වර්ගයේ කාර් රථයක්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.
ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට රිමාන්ඩ් බාරයේ සිට මීට වසරකට පමණ පෙර නිදහස්ව පැමිණි අයෙක් බවත් ආනන්ද බාලිකා විද්‍යාල මාවතේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවාස සංකීර්ණයක දෙවැනි මහල සම්පූර්ණයෙන්ම කුලී පදනම මත ලබාගෙන ඉතාම රහසිගතව මත් කුඩු පැකට් කිරීම හා බෙදාහැරීමේ ජාවාරම වසරකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බවත් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මුදල් සහ රන්භාණ්ඩ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් ඒවා බවත් ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළ බවද පොලිසිය පැවැසීය.
නුගේගොඩ දෙස සිට පැමිණෙමින් තිබූ මෝටර් රථය මාර්ග බාධකය පසුකර යෑමට පැමිණීමේදී මිරිහාන මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත වීරසිංහ මහතා සහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම මෝටර් රථය නවතා එහි ගමන් ගත් පුද්ගලයින් පරික්ෂා කිරීමේදී හා ප්‍රශ්න කිරීමේදී කාර් රථය පදවාගෙන පැමිණි රියදුරු වශයෙන් සිටි පුද්ගලයා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට අනාවරණය කරගත් බවත් ඉන් අනතුරුව මොවුන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට රැගෙන ආ බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් සිව්දෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක, නුගේගොඩ කොට්ඨාස කලාප 01 බාර පොලිස් අධිකාරි කේ.එස් රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත වීරසිංහ, දූෂණ මර්දන මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත එම අංශයන්හි පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව