මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්.
සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව රක්ෂිතයට අයිති) අස්සේ දුපතක්. නම කිව්වොත් දැන් කුමාරතැන්න. ඉස්සර මේ කැලේ මැද සැවානා තැනි බිමේ ගොන් දිගේලි කරපු නිසා හරක්පට්ටිතැන්න. පස්සේ ඒ නම එච්චර හොද නැති හින්දා කුමාරතැන්න වෙනවා. කොහොම වුණත් හැම කාලෙම තුරුපත් කොළ පාටින් දුලන නිසා මේ තැන්න මාර සශ්‍රීකයි. මේ තැන්නට එක පැත්තකින් බෙරගල හපුතලේ කදු.
ඊළගට කඩාහැලෙන දියළුම. ඊළගට කොස්ලන්ද සානුව උඩ ඉදලා ඇස් විදින ඉසව්වේ තමයි මේ ගම ඉන්නේ. හරියට බයට කැලේ අස්සේ හැංගිලා වගේ. කොස්ලන්දට බයවුණාට කිම් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ මොකද හද්ද වැස්සක් කඩන් වැටුණොත් පස් කන්ද හෝදගෙන පෙරළගෙන ඇවිල්ලා මහන්සියට නතරවෙන්නේ මේ තනි තැනි බිම්කඩේ.
ඒ එකපැත්තක්. තව පැත්තක් බලංගොඩ කල්තොට මැදබැද්ද පැත්තට බැදෙනවා. අනෙක් පැත්ත ඉතිං වැල්ලවාය කුඩාඔය සීමාවට. මේ ගම අස්සෙන් දුවන නයා ගිය වතුර ආරවල් සේරම ඉතිං උඩවලවට. මේ ගමට එහාට වෙන්න වෙලංවිට පැත්තට යනකොට, කුඩාඔය පැත්තට යනකොට කැලේ මැද කවදාවත් හිදෙන්නේ නැති දිය බුබුළ. ඒකත් උඩවලව ට තමයි.
දැන් මම යන්න කලින් ඔයාලට මේ ගම දිහා කුරුළු ඇසින් බලන්න පුළුවන්. මම සෑහෙන්න ගිය ඒත් නොසෑහෙන ආසාවක් තවමත් හිත අස්සේ ලියලලියලා මල් ගොමුගොමු හැදෙන පළාතක් මේක. එහෙනම් දැන් මතකය අස්සේ රවුමක් යන්න වෙලාව.
මැණික් මතක
මේ මතකය 2002 තරම් දුරයි. ඒ මේ කැලේ මැද ගමට ගිය මුල්ම වතාව. ගමත් එක්ක ආදර කතාව පටන්ගන්න තැන. මේ ආදරේට හේතුව මැණික්.
ගමේ කොහේ වළක් කැපුවත් මැණික් ඉල්ලමක් පාදගන්න පුළුවන් එකේ, ඒලෙවල් කරලා ඉවරවෙලා ඉන්න කාලේ යාළුවො මැණික් ගරන්න දුර යන්න කතා කළා. අපි ත්‍රීවිල් එකක් අරං වට්ටි හට්ටි කැති උදළු දාගෙන මැණික් හොයන්න යන්න ත්‍රීවිල් එකට නැග්ගා. “උබලට නම් පිස්සු නිකන් ඉන්න බැරුව කහනවානම් ඔය ගගට බැහැලා වැලිටිකක් ගරහල්ලා”,තාත්තා ගමනට ආශීර්වාද කලේ එහෙමයි.මේ විදිහට වැටුණු ගෙදර උදළුත් අමතක කරලා අපි ගමන පටන්ගත්තා. මේ රත්නපුරේ මිනිස්සුන්ගේ හැටියක්ද කොහේද?.. මැණික් කිව්වොත් ආයේ දෙකක් නැහැ.
හම්බවුණා නැහැ මොකද? ගාල්ලේ බසෙන් කියනවනම් හම්බවුණා නැහැ මක්කෙයි. මැණික් තියෙන අහා තමයි අහා. ත්‍රීවිල් එකේ ගමනාන්තේ දන්නේ නඩේ ගුරා විතරයි.
මිනිහාම තමයි ඩයිවරයත්.. මිනිහා හොරාවගේ. හංගමුවෙන් රත්නපුරේට රත්නපුරෙන් බලංගොඩට. ඊළගට බදුල්ල පාරේ බෙරගල හංදියට. ඊළගට ඉතිං වැල්ලවායට වැටුණු දගර පාරේ නිකපොතට. නිකපොත කියන්නේ හපුතලේ ආසනේ රත්නපුර මායිමේ තියෙන ගමක් කිව්වොත් හරි.
මැණික් ගරන්න නිකපොතට ආපු අපි මුලින්ම නැවතුණේ නිකපොත ඉස්කෝලේ ළගින් පහළ පාරේ යෝද කරුවලගහ ළගින් මහගිරිදබේ වගේ පහළට පහළට බැහැලා රජෙක්වගේ දනපාල මහත්තයාගේ ගෙදර. මේ ඉසව්වේ කෝරළේ පයින්ඩේ කොරලා කරලා තියෙන්නේ මේ රජ්ජුරුවන්ගේ තාත්තා තමයි.
වලව්වක් වගේ ලොකු ගෙදරක තමයි මිනිහා හිටියේ. නිකපොතට රජෙක් වුණ දනපාල මහත්තයා අපි නිකපොතට යනකොට හිටියේ මෙහෙසිය අතෑරපු සෙයියාවක. ඉතිං මිනිහා අපිට යකඩ තහඩුවට ගහපු බෝල්ට් ඇනේ වගේ සෙට් වුණා. උන්දා අපිට හවසට කිතුල් රා ගෙනත් දෙනවා අපි ඒ හිලව්වට මිනිහගේ, මිනිහගේ අප්පාගේ, මෙහෙසියගේ, දරුවන්ගේ අතීතයට දොර ඇරලා රා බොනවා… හැබැයි පුතෝ මිනිහගේ කයිකතන්දර අහන ගමන් රා බොනවා කියන්නෙත් ලෙසියක් නෙවෙයි. “මොකද්ද මංකිව්වේ ” කියලා මිනිහා හිටිගමන් අහපි.
අපිට උත්තර නැතිවුණොත් වැඩේ ඉවරයි. මුලදී අපිට පොඩි පොඩි ප්‍රශ්න ආවත් පස්සේ පස්සේ පස්සේ අපි කණ මිනිහගේ පැත්තට හරවගෙන රා බොන්න පුරුදු වුණා. දනපාල මහත්තයා ගස් මුදලාලි කෙනෙක්. මැණික් ගරලත් තියෙයි. මිනිහා ළග වතුර බෝතලේක දාපු හොද දලන් (පුංචි මැණික් කැට කැබලි) කලෙක්ෂන් එකක් තිබුණා. එකේ තිබුණ ලොකු පැණිතෝරමල්ලි කෑල්ලකට (වටිනාකමක් නැති මැණික් වර්ගයක්) අපේ එකෙක් පසින්ගලයක් (ඉහළ වටිනාකමක් තියෙන ස්බාවික ආලෝකයේදී එක් වර්ණයකුත් කෘතීම ආලෝකයේදී තවත් වර්ණයක් දෙන මැණික් වර්ගයක් ) කියලා රැවටිලා එක අවුලයි.
තව ඩින්ගෙන් පතලුත් දාලා අර පැණිතොරෙත් හොරෙන් අරං ආපු එනවා. එහෙම ආවනම් මෙහෙම ලියන්න කුමාරතැන්නක් හම්බවෙන්නේ නැහැ.
මිනිහා අපිට මැණික් ඉල්ලම් තියෙයි කියන ආරක්(වතුර පාරක්) පෙන්නුවා. මිනිහා රජෙක් වගේ නිසා අපි මිනිහගේ ගෙදර නැවතිලා මිනිහගේ එකපතේ කන නිසා ගමේ මිනිස්සු අරියාදු කළේ නැහැ. හැබැයි තිබුණ මැණිකක් නැහැ. විසේ ඇති ඌර ට රැයක් දහවලක් නැහැ නිසා අපි රාත්‍රියේත් වැඩ කළා. මේලෝ දෙයක් නැහැ.
අපි ගෙදර එන සමහර දවසක දනපාල මහත්තයා දඩමස් හොයලා උයලා තියනවා.කොයි හත්දිපන්කරේ රස්තියාදු ගැහැව්වත් මට තවම මිනිහගේ මස්කරියේ රස අමතක නැහැ.
මස් හොද්ද ළිපේ තියලා ගිනි හිනැහෙනකොට හට්ටියේ පස්ස රත්වෙනකොට තමයි මිනිහා හොද්දට තුනපහ අරවා මෙව්වා හැම මගුලම මුහුකරන්නේ. ඒකත් හට්ටියට දුරින් ඉදලා කරන විසිකිරීම් පොකුරකින්. දැක්ක පළවෙනි දවසේ හිතුණා අනේ හත්තිලව්වේ මේවා කන්නේ කොහොමද කියලා කාපි බලන්න අමුර්ත රසයි. කොහොමහරි අපිට නිකපොත මැණික් වාසනාව තිබුණේ නැහැ.
කොල්ලනේ මේ පහළ මැණික් තියෙයි. අඩි දෙකයි පොළව කපන්න ඕනි. යමුද හැබැයි පිච්චිලා ලුණුකැට වගෙයි. වාසනාව තියෙයිනම් උබලගේ හොද එව්වත් හම්බවෙයි.” ඔන්න ගියා ගියා මේ පහළ තාම නැහැ. ඊළගට මහා කැලේ. ඩකුස් ඩොකුස් ත්‍රීවීල් එක කෑගහනවා. අයිතිකාරයට හීන්දාඩිය. දෙපැත්තේම සැවානා. තැනක් තැනක් රූඋස් ගස් අහසට අත දික්කරගෙන. ඊළගට අලියා ඉන්න තැන්න.
අලි ඈතින් කොළපාට මානං හිස් හොඩින් හොඩින් අරංඅරං අබරනවා. “කලබල නැතුව අපි යමු අපිට ඕකුන් වැඩක් නැහැ” ත්‍රීවිල් එක අස්සේ ඇබරෙන අපිට දනපාල මහත්තයා කියනවා.
ඔන්න ගමට ආපි… නිකපොත ඉදලා අක්කර සිය එහෙම පහුකරලා කුමාරතැන්නට කිලෝමීටර් 24ක් විතර. ඔන්න පහළක මහත. මාස ගානකින් වැහලා නැහැ. උදැල්ල ටාන් ගාල අපි හොයාගෙන පොළවේ හැපිලා ආයේ එනවා.
අපි මැණික් යකාට යන්න කියලා අතැරලා දැම්මා. එදා තමයි මට මුලින්ම කුමාරතැන්නේ ගුණසේකර මුලිච්චි වෙන්නේ. එදා වෙච්චි ඒ මුලිච්චි වීමට පිංසිද්ද වෙන්න තමයි මම නිතරම මේ කැලේ මැද ගමට බඩගාන්නේ .මේ ගමේ මිනිස්සු ගොවිතැන් කළා. ඒ අලින්ටත් එක්කම. ඊළගට උක් හැදුවා. ඒ හකුරු හදන්න.
පැණිගැන කතා
කුමාරතැන්න මාරයි. කාලෙකට ඉවසන්න බැරි රස්නේ. කාලෙකට ඒවගේම සීතයි. ඉතිං ඒකාලෙට හැම උඩරට එළවලුවක්ම මෙහේ හිනාවෙවී වෙවී බලන් ඉන්නවා. අනික් කාලෙට මිනිසුන්ට උක් තියෙනවා. කුමාරතැන්න ඌව සපරගමුව මායිමනේ. හාල්අටුතැන්නට ළග. ගෙවල් මන්යන දොහේ නම් ගොඩක් කටුමැටි. ලස්සනයි. පුසුබයි. ගමේ ඉදලා අක්කර සියය කියන කඩමන්ඩියට දුර කිලෝමීටර් 20කට කිට්ටු ඇති.
දෙවෙනි ගමන තනියෙන් මේ ගමට යනකොට වෙච්ච සිද්දියක් කියන්නම්. අක්කර සීය කඩමන්ඩිය පහුකලහම ඉතිං කැලේ තමයි. මමත් යනවා යනවා. ටිකදුරක් ගියහම මට ඈතින් පේනවා සාරියක් දවටගත්ත ලස්සන කෙල්ලෙක් ඉස්සරහට එනවා. අලි එහෙම හිටියද? ඔව් අර තැන්නේ ඈත එකෙක් ඉන්නවා යන්න සද්ද නැතුව ප්‍රශ්නයක් නැහැ. මහත්තයා කොහේද යන්නේ? මම ගුණේ හම්බවෙන්න යනවා.
ආ ගුණේ අයියා අක්කර සීයට ආවනේ. කමක් නැහැ මහත්තයා හෙමිං යන්න මම අයියට කියන්නම්.” මේ කතාබහ තවත් දික් කරන්න හිතන ඇසිල්ලක ගෑනි ඈතට ගිහිං. යනවද ඉනවද යනවද ඉන්නවද කියලා හිතහිතා ඉදලා ඔනිමගුලක් කියලා යන්න පිටත්වුණා. ටික දුරක් යනකොට ඔහ් ජහ් කොටියා වගේ උස හඩක් තැන්න හරහා යනවා. මම නවතිනවා. ගොන් දෙන්නෙක් බඩු පොදි ගැටගහගෙන පාරේ ඔහේ එනවා.
ඊළගට දිග කොට්ටක් එක්ක ගුණේ. “මට අපේ ඉස්කෝලේ ටීචර් කිව්වනේ මහත්තයා ඉස්සරහා යනවා කියලා ඉතිං මම දිව්වා.” ගුණේ කියනවා. මේවට අපි කියන්නේ තවලම් කියලා. මේ ගමට බඩු ගේන්නේ තවලමේ. දැන්නම් පාරත් එක්ක වෙනස්වෙලා. මේ වෙනස වුණේ බලං ඉන්නැද්දි. මමත් රාවයත් මේ වෙනසට පොඩි දායකත්වයක් දුන්නා පාර ගැන ලිපියක් ලියලා. ඊටපස්සේ පාර හැදුවා.
ඉතිං ආයේ උක් කතාවට බැහැල පැණි කන්න ලෑස්තිවෙමු. එළවළු වී ගොවිතැන ඇරුනහම මේ මිනිස්සුන්ගේ ප්‍රදාන ජීවන මාර්ගය තමයි උක් හකුරු හදන එක. මේක මෙහෙට ගෘහ කර්මාන්තයක්. හල්දුම්මුල්ලේ මේ අපි ඉන්න සීමාවත් එක්ක උක් ඉඩම් ගොඩයි. අක්කර විදිහට ගත්තොත් 2000ක් වත් ඇති. මේ බිම් අඩි 1000ක් වත් උසයි මුහුදේ ඉදලා. බැලුබැල්මට පෙන්නේ උක් මෙහේ සරුයි කියලා.
“මුලින් මුලින් පෝර ගැහැව්වේ නැහැ. දැන් ගහනවා එළිකරනවා. ටිකක් ආමාරුයි තමයි හැබැයි හකුරු විකිණෙනවා ” ගුණේගේ කතාව එහෙමයි. ඇත්තටම කපන්න අබරන්න පැණි උණුකරන්න ගියහම තමයි ආමාරු. මේ ගමේ හැමතැනම වගේ පැණිවාඩි තියෙනවා. ඒ හැම එකකම ලිප් තුනක්වත් තියෙනවා. මැටිවලින් ටිකක් උසට මේ ලිප් බැදලා තමයි හදලා තියෙන්නේ. පැණි උණුකරන තාච්චිත් ලේසි නැහැ බැහැලා නාන්න පුළුවන්.
එන්න පැණි අබරන්න
හල්දුම්මුල්ලේ උක් ඉතිහාසේ 1930ට දුරයි. 1960 විතර ඉදලා තමයි මේ කර්මාන්තෙ නැගලා යන්නේ. දැන්නම් බහින කලාව ඒකත් කියන්න ඕනි. අද හෙට ඉතුරුවෙන්නේ මේ ඉතිහාසයේ පුරාජේරුව විතරයි. සැප්තැම්බර් ඔක්තෝම්බර් නැත්නම් මාර්තු අප්‍රේල් තමයි උක් හිටවන්නේ.
ඒ හොදට හැදුණු උක්ගස්වල කරටිය කඩලා. සාමාන්යෙන් එක වලකට හතරකොනේ උක් කරටි හතරක් හිටවනවා. එතකොට තමයි පදුර නැගලා හිනැහිලා මේ මිනිස්සුන්ට පැණි දෙන්නේ බත් කන්න. එහෙම පැදුරු නැග්ගම අවුරුදු 10ක් විතර යනකම් කන්නෙට කපන්නයි අබරන්නයි තමයි තියෙන්නේ.
ගල්ඔය 527, සීනි උක්, කළු උක්, වගේ උක් වර්ග තමයි මෙහේ වැඩිය වවන්නේ. හිටවලා මාස 15න් 18න් ගස් කපනවා පැණි මිරිකන්න. ඒ කාලේ වෙනකොට උක් මෝරලා සමහර ගස් මල් පූදගෙන මේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. මුලින්ම පැණි ඇබරුවේ සේක්කුවෙන්. ගොන් වටේට කැරකෙනවා. යන්ත්‍රය අස්සෙන් උක් දණ්ඩ යනවා. පැණි මිරිකෙනවා. මීමැස්සෝ පොරකනවා මේ මාමලාට හොරෙන් පැණි අරං යන්න.
දැන් එහෙම නැහැ. දැන් මේකට යන්ත්‍ර තියෙයි. හැබැයි මම දැනට අවුරුදු 5කට විතර කලින් යනකොට බබා මාමා ළග විතරක් ගොන්ගෙන් පැණි මිරිකන මැසිමක් තිබුණා. මෙහෙම මිරිකන පැණි ලොකු තාච්චිවලට දාලා උණු කරනවා. පැය දෙකක් විතර ගින්දර කනකොට දාඩිය සට සට ගාලා වැටෙනකොට පැණි හිනැහෙනවා. පදම ආවෝ අච්චුවට මාව දාන්නෝ කියලා කෑගහනකොට බබා මාමා වගේ අය පැණි ලී අච්චුවට හලනවා.
ටික වෙලාවයි සුවදයි රසයි එක්ක පැණි කැටිවෙනවා.ඒක නිකං අමුතු පිරමිඩයක් වගේ. සමහර තැනක හකුරු තද පැණි පාටයි. ඒවා හොදයි. සමහර තැනක හකුරු තද කළුපාටට ළගයි. ඒවා ටිකක් නරකයි. මේ හකුරු හරි ගුණයි. කහට ජෝගු දෙකකට උනත් මේ හකුරු කැටෙකින් වගකියන්න පුළුවන්. හැබැයි දැන්නම් මේ හකුරුමලු වැඩිපුර යන්නේ කසිප්පුවලටලු. එත් කමක් නැහැ මේ කර්මාන්තෙන් මිනිස්සු ගොඩක් බත් කනවනේ.
බබා මාමත් එක්ක මැදබැද්දට
මැදබැද්ද කියන්නේ කුමාරතැන්නට අල්ලපු ගම. හැබැයි මහා කැලෙන් දෙකඩ වෙලා. හැතැක්ම 10ක් විතර ගිහිං වේලිඔය පැන්නහම මැදබැද්ද. කුමාරතන්නේ නැවතිලා හේනක් කොටාගෙන උක් හකුරු හදන බබා මාමගේ ගම මැදබැද්ද. මම මේ ගමට ගිය දොහක මම බබා මාමගේ හේනේ රාත්‍රියක් හිටියා. “මම හෙට හකුරු අරං ගොන් දෙන්නෙකුත් එක්ක ගමේ යනවා. මහත්තයත් කැමතිනම් ඒ පැත්තෙන් ගෙදර යන්න පුළුවන්.” ආයෙත් මොකට හිතනවද? යමු. මම කැමැත්ත දුන්නා.
උදේ 5ට ඇති. කුමාරතැන්නේ ගමේ මාමට හිතවත් කෙලිගහක් ආවා එක ගොනෙක් දක්කන්න. අපි තුන්දෙනයි ගොන් දෙන්නයි කැලේ මැදින් බලංගොඩ මැදබද්දට එන්න පිටත් වුණා. ඒ බබා මාමා කොළ අත්තක් එහෙම ගැටගහලා. කලින් කලට හේන් කරලා පුරන්වෙලා තනි ගස් විතරයි තනි අලි වගේ.
ඊළගට මනං පැදුරු සැවානා. මුණේ වැදුනහම කැපෙන කඩු වගේ තමයි මේ පැදුරුවල කොල. ගොන්ට හුරුයි පාර උන් ඔහේ කට විටෙකට බාරදීලා යනවා. මම පස්සෙනම. ඉස්සරහටයි පස්සටයි දෙයියෝ රකිනවා කියන නිසා නෙවෙයි මේ මිනිස්සු මේ ගැහැණු එක්ක අපිට හැරෙන්නවත් බැරිනිසා. සමහර තැනක කහට විවේක. සමහර තැනක විට විවේකේ. ඒ අස්සේ මම අර බවලති එක්ක කතාවට වැටුණා.” බැදලා මිනිහා අතැරලා ළමයි දෙන්නෙක් ඉන්නවා දෙන්නම කෙල්ලෝ. ඉතිං රස්සාවකට කොහේ යන්නත් බැහැ.
දැන් මේ මාමා ළග කුලිය කරලා තමයි ජිවත් වෙන්නේ. පොඩිකාලේ ඉදලම තවලන් ගොන් අරන්ගිහින් හුරුයි. මේක මේ කැලේ අරං යන්න හරි අමාරුයි. අලි එහෙම දැක්කහම මුන් ගාල කඩාගෙන දුවනවා. ඒවෙලාවට ආම්බාන්කරගන්න දැනගන්න ඕනි. නැත්තන් හකුරුත් ඉවරයි සේරම ඉවරයි.” මේ කතාව අස්සේ බබා මාමා අතින් සන් කරනවා සද්දකරන්න එපා කියලා. ඈතින් අලි කෙළි.
අපි මානං පැදුරේ ඉගෙන සද්ද නැහැ. ගොන් සද්ද නැතිව බිම බලාගෙන වමාරා කනවා. මුළු කාලේම නිහඩයි. මටත් දැන් ඇතිකියලා හිතෙනවා. උක් පැණි වගේම හකුරුත් සුමියුරුයි. හැබැයි හකුරු හදන මේ ජිවිත අස්සේ රජකරන්නේ තිත්ත රසයමයි.
කේ.සංජීව