ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.

ලෝක නායකයින් දෙපළ හමු වූයේ ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර දීය.  ඊමෙය බයිඩන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව දෙරටේ නායකයින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාවයි. අර්බුදකාරි සමයක මෙම නායකයින් ගේ හමුව ලෝක දේශපාලනය තුළ අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම හමුවේ අරමුණ රුසියාව සහ ඇමරිකාව අතර සබඳතා වඩා ස්ථාවර සහ ශක්තිමත් ලෙස වර්ධනය කරගැනීම බව වාර්තාවේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර සබඳතා කලක සිට පවතින්නේ පළුදු වූ තත්වයකයි. රුසියාව යුක්රේනයෙන්, ක්‍රිමියාව ඈඳා ගැනීමත් සිරියානු අර්බුදයට කළ මැදිහත්වීම් සහ 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහය පළ කළ බවට එල්ල වන චෝදනා ද මෙම තත්ත්වයට හේතු වී තිබේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර තානාපති සබඳතා ද බිඳ වැටී තිබේ.

බයිඩන් මෙම සාකච්ඡාවට ඔහුගේ රාජ්‍ය ලේකම්වරයා සමගත් පුටින් සිය විදේශ අමාත්‍යවරයා සමගත් එක්විය. හමුව පිළිබඳ අදහස් දක්වමින් බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ” නායකයින් මුහුණට මුහුණ හමු වීම ඉතා සුදුසු බව ” තමා සිතන්නේ ය යනුවෙනි. පුටින් මෙම සාකච්ඡාව ඵලදායක වනු ඇති බව තමා සිතන්නේ යැයි පැවසී ය.

කෙසේ වෙතත් මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාවට එරෙහිව නව සම්බාධක කිහිපයක් පනවා ඇති අතර රාජ්‍ය නායක හමුවේ දී සයිබර් ප්‍රහාර, යුක්‍රේනය කෙරෙහි අනුගමනය කරන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය, මැතිවරණ මැදිහත් වීම්, ඇතුළු ගැටලු ගණනාවක් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් අවධානයට ගෙන ඇත.

ඉකුත්දා පැවැති NATO සමුළුවේදී ද රුසියානු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදහස් පළ විය. මෙම තත්ත්වය තුළ දෙරට අතර ඉදිරි සබඳතා කෙසේ වනු ඇතිදැයි යන්නත් සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳවත් සියලු පාර්ශවයන් අවධානයෙන් පසුවේ.

Similar Posts