අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක් ආසල පිහිටි නිවසක රාත්‍රී කාලයේ පවත්වා ගෙන ගිය සුපිරි බූරූපිටියක් වටලා නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් මුදල් ඔට්ටුවට සූදුවේ යෙදුණු ව්‍යාපාරිකයන් හත්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් (30දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල ආසන්නයේ නිවසක සුපිරි බූරූපිටියක් වසර පමණ කාලයක් පැවත්වුණත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එම ස්ථානය වැටලීම සිදුනොකරන බවට අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාට මහජනතාව යොමුකළ පැමිණිල්ලකට අනුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර තලාව කැකිරාව තඹුත්තේගම මිහින්තලය ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් පැමිණ බූරූ මණ්ඩියේ සූදුවේ යෙදෙන බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන අදාල ස්ථානය වටලා තිබේ.බූරූ පිටිය පවත්වාගෙන ගිය පුද්ගලයා එම ස්ථානයට පොලිසිය පැමිණෙද යන්න තහවුරු කර ගැනීම සදහා ඔත්තුකරුවන් ස්ථාන හතරක යොදා ඇති බව පොලිසිය පවසයි.

අනුරාධපුර යාපනය හංදිය මාතලේ හංදිය නුවර වැව සොරොව්ව අසල හා වලව්වත්ත ප්‍රදේශයේ ඔත්තුකරුවන් ස්ථාන ගතකර ඔවුන්ට ජංගම දුරකථන ලබාදි පොලිසිය පැමිණෙන විට ඔවුන් බූරූ පිටිය පවත්වා ගෙන යන්නාට පොලිසිය පැමිණෙන බවට තොරතුරු සපයා ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වැටලීමට යන අවස්ථාවේ වලව්වත්ත ප්‍රදේශයේදී ඔත්තුකරුවෙකු පොලිසිය ගමන් කළ ත්‍රීරෝද රථ දෙකට නතර කරනා ලෙස සංඥා කර ඇතත් පොලිස් නිලධාරින් එම ස්ථානය බූරූපිටියේ මාර්ග බාධකය බව නොදැන ඉදිරියට ධාවනය කිරීම නිසා ඔත්තුකරු විසින් බූරූ පිටියට පොලිසිය පැමිණෙන බව දුරකථනය ඔස්සේ දන්වා තිබේ.

එම තොරතුරත් සමගම පොලිස් කණ්ඩායම අදාල ස්ථානය වටලා ඇති අතර මුදල් ඔට්ටුවට සූදුකෙළිමින් සිටි ව්‍යාපාරිකයන් 15දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්නොවෙමින් ස්ථානයෙන් පළාගොස් තිබේ.සැකකරුවන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වි තිබේනා අතර එම ස්ථානයේ තිබි රුපියල් 14500ක් විශාල පැදුරක් බූරූ කුට්ටමක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මුදල එක් පුද්ගලයෙකුගේ බවත් සැකකරුවන් මත්පැන් බොමින් දුම්වැටි හා ගංජා සුරුට්ටු උරමින් සූදුවේ නිරතවූ බවත් ඔවුන් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සූදුපොළ පවත්වාගෙන යන බව පොලිසිය කියයි.

අදාල ස්ථානය වැටලීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ මාර්ග බාධකයේ ත්‍රීරෝද රථය නතර කළේ නම් සූදුවේ යෙදුණු සියළුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව පොලිසිය කියයි.

මුදල් ඔට්ටුවට සූදුවේ යෙදීමට පැමිණෙන්නන් රුපියල් ලක්ෂ ගණනින් රැගෙන පැමිණෙනා බවත් සූදුපොළේ දිනකට රුපියල් ලක්ෂ 20ක් පමණ සංසරණය වන බව පොලිසිය පවසයි.අත්අඩංගුවටගත් සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර තිබෙනා අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් උප පොලිස් පරික්ෂක සුනිල් පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 නිෂාම් 61406 පොලිස් කොස්තාපල්වරුන් වන රාජරත්න 66934 ඉලංගසිංහ 68491 මංජුල 75531 යන නිලධාරින් වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts