මහ රෑ යාමේ මහ මග තනිව ගමන් ගන්නා පිරිමින් හමුවට කුඩා දරුවකු ද වඩාගෙන පැමිණෙන එක්තරා අද්භූත ගැහැනියක පිළිබඳ අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ පැමිණෙන ඇය තම ඇඳි වත සකසා ගැනීමට යැයි කියමින් තමන්ගේ අතේ හිඳින කුඩා දරුවා මඳකට වඩා ගන්නා ලෙස එම පිරිමියාගෙන් ඉල්ලා සිටින්නී ය. එවිට එම කාන්තාව හෝ ඇගේ සුරතේ හිඳින කුඩා දරුවා පිළිබඳ අනුකම්පාවෙන් හෝ එම කාන්තාව කෙරෙහි වූ විශේෂ ඇල්මකින් එම කුඩා දරුවා වඩා ගැනීමට යම් පිරිමියකු පෙළඹුණහොත් ඔහු කිනම් හෝ විපතකට පත් වීම ඒකාන්ත සත්‍යයකැයි ජන විශ්වාසයක් තිබේ. අතීතයේ ජීවත් වූ අප සමාජයේ පිරිමින් මුහුණ දුන් එම අද්භූත අත්දැකීමට අනුව එම ගැහැනිය කවුරුන් ද යන්න අමුතුවෙන් ඔබෙන් විමසා සිටිය යුතු යැයි මම නොසිතමි.
ශ්‍රී ලාංකේය ජන සමාජයේ පවත්නා සම්මතයට අනුව මෙම මෝහිනී යනු පුරුෂ පක්ෂයට පමණක් වින කරනු ලබන යක්ෂනියකි. එහෙත්, අප රටේ දී අවතාරයක් නැතහොත් යක්ෂනියක ලෙස හංවඩු ගැසුණු මෝහිනියට ඇගේ නිජබිම වන ඉන්දියාවේ දී එක්තරා දිව්‍යමය ආරෝපණයක් ලබා දී ඇති වග ඔබ දන්නවාද?
ලෝක ප්‍රකට ඉන්දීය පුරාතන වීර කාව්‍යයක් වන මහා භාරතයේ සේම උත්තර භාරතීය ආර්ය සේම දක්ෂිණ භාරතීය අනාර්ය සංස්කෘතීන් තුළ මෝහිනිය ප්‍රකට වී ඇත්තේ හින්දු ත්‍රිමුර්තියට අයත් විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙසිනි. නූතන ජනවහරට අනුව හොල්මන් අවතාර යන්න එක්ව කියැවෙන්නක් වුව ද පසළොස් වැනි සියවසේ එනම් කෝට්ටේ යුගයේ ලියැවුණු ‘පැරකුම්බා සිරිත’ කෘතියෙහි පවා අවතාරය යන්න නිර්වචනය කොට ඇත්තේ දෙවියන්ගේ අන්‍ය වේෂයක් ලෙසිනි. ඒ අනුව මෝහිනී ද දිව්‍යමය වේෂයකි.
හින්දු දේව කතා සහිත පුරාණ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට බ්රහ්මා හෙවත් භෂ්මා නම් අසුරයෙක් දොළොස් වසරක්ම ඊශ්වර දෙවිඳුන් හට බැල මෙහෙවර කොට ඔහුගේ සිත පහදවා ගෙන ඊශ්වර දැහැන නම් මන්ත්‍රයක් ලබා ගත්තේ ය. ඒ මන්ත්‍රය කෙතරම් බලවත් ද යත් ඒ මන්ත්‍රයෙන් තමන්ගේ අත්ල මතුරා ඒ අත්ල කිසිවකුගේ හිස මත තැබූ සැණින් ඒ තැනැත්තා ක්ෂණයකින් දැවී අළු බවට පත් වෙයි. දොළොස් වසරක් ඊශ්වර දෙවියන් යටතේ සේවය කළ මුත් මෙම භෂ්මා අසුරයාගේ සිත තුළ ඊශ්වර දෙවියන් කෙරෙහි සියුම් වෛරයක් පිබිදෙමින් තිබිණ. ඒ අනුව තමන් ලද ඊශ්වර දැහැනින් ගනු ලබන පළමු ප්‍රයෝජනය ලෙස ඊශ්වර දෙවියන්ම අළු කොට දැමිය යුතු යැයි සිතූ භෂ්මා ඊශ්වර දැහැනින් තම අතට මතුරා ඊශ්වර දෙවියන් සොයා ගියේය. තමන් විසින් කරන ලද ‘මෝඩකම’ ඊශ්වර දෙවියන්ට වැටහී ගියේ එලෙස තමන් සොයා එන භෂ්මා අසුරයා දැකීමෙනි.
ඉන් පසුව ඔහුගේ හස්ත ස්පර්ශයෙන් දැවී අළු වී යන බව දැනගත් ඊශ්වර දෙවියන් භෂ්මා අසුරයාගෙන් බේරීම පිණිස දුවන්නට වූ අතර භෂ්මා ද ඊශ්වර දෙවියන් ලුහුබඳින්නට විය. මේ අතර තමන් සේම බලසම්පන්නයකුට සිදුවීමට යන විපත දුටු විෂ්ණු දෙවියන් තම බල පරාක්‍රමයෙන් මවන ලද අතිශය සුරූපී මෝහිනිය භෂ්මා එන පෙරමගට යැවීය. මෝහිනියගේ රූපශ්‍රීය දුටු භෂ්මාට තමන් යන කාරිය ද අමතක විය. ඒ අනුව මෝහිනිය හා කතාවට වැටී ඇයට හිමියකු නොමැති බව අසා මහත් සතුටට පත්ව තමන් හා විවාහ වීමට කැමැති දැයි භෂ්මා ඇගෙන් අසා සිටියේය. එවිට මෝහිනිය භෂ්මාට කියා සිටියේ කිසිදා තමන් අත් නොහරින බවට හිසේ අත ගසා දිවුරිය හැකි නම් පමණක් භෂ්මාගේ එම ඉල්ලීමට එකඟ විය හැකි බවකි.
නමුදු ඒ වන විට ද ඊශ්වර දෙවිඳුන් වනසා දැමීම පිණිස තම සුරතට ඊශ්වර දැහැනින් මතුරා ගෙන සිටි බව භෂ්මා අසුරයාට අමතක විය. ඒ අනුව ඔහු කෙසේ හෝ මෝහිනිය හිමිකර ගැනීම පිණිස ඇය හමුවේ පොරොන්දු වීම සඳහා ඊශ්වර දැහැනින් මතුරාගෙන තිබූ තම සුරත හිසේ තබා ගත්තා පමණි. භෂ්මා අසුරයා එසැණින් අළු ගොඩක් බවට පත් විය. පසුව ශරීරයක් හෙවත් අංග නොමැති යන අරුතින් යුතුව අනංගයා ලෙසින් පහල වන ලද්දේ මෙම භෂ්මා අසුරයා බව ප්‍රකට මතයකි.
එහෙත් මෙම වෘත්තාන්තය භාරතයේ විවිධ ජන සංස්කෘතීන් තුළ මීට වඩා වෙනස් අයුරින් සමාජගත වී ඇති බව ද කිව යුතුය. ඒ අනුව මෙවන් වෘත්තාන්ත එකම කතාන්දරයක් සේ අප වටහා ගත යුතු නැත.
පුරාණ නමින් හැඳින්වෙන හින්දු දේව කතා සාහිත්‍යයේ සහ සෙසු සාහිත්යාංගවල සඳහන් අන්දමට මෝහිනී යනු එක්තරා අන්දමක ප්රයෝගකාරී දෙවඟනකි. එහෙත්, ඇය එලෙස ප්‍රයෝගවල යෙදෙන්නී තම පාර්ශ්වය වන දෙවිවරුන්ගේ හෙවත් සුරයන්ගේ යහපත වෙනුවෙනි. විෂ්ණු දෙවියන්ගේ මූලිකත්වයෙන් සුරයන් සහ අසුරයන් එක්ව කිරි මුහුද කැළඹීමේ දී මතු වූ ‘චතුර්දශ රත්න’ නම් ලෝකයේ මහාර්ඝ වස්තු දාහතර අතරට ගැනෙන අමෘතය සඳහා අසුරයන් ද තම අයිතිය ඉල්ලා සිටි විට එය සාධාරණ ලෙස බෙදීමේ වගකීම පැවරෙන ලද්දී මෝහිනිය ය. එමෙන්ම ඇගේ අතිශය රූපශ්‍රීයෙන් වසඟ වූ අසුරයන් ද ඊට කැමැත්ත පළ කළ මුත් ඉතා ප්රයෝගකාරී ලෙස ඇය එම අමෘතය අසුරයන්ට ලබා දීමෙන් වැළකී සිටියාය. මෝහිනියගේ මෙම ක්‍රියාව නිසා සුර-අසුර යුද්ධය යළි දරුණු ලෙස ඇවිලී ගිය බවත් හින්දු දේව පුරාණවල සඳහන්ය.ඒ අනුව ප්රයෝගකාරී රූමත් කතුන් මුල් කොට සමාජයේ ප්‍රශ්න ගැටළු අර්බුද ඇති වීම අදට පමණක් සීමා නොවූ බව පෙනෙයි.
මෝහිනියගේ මෙම අතිශය රූමත් විලාසය මනු ලොවට ද බලපෑම් එල්ල කරන බවට හින්දු සමාජය තුළ ප්‍රබල විශ්වාසයක් පවතින අතර රාත්‍රී කාලයේ තනිව වීණා හෝ බටනළා වාදනය කරන තරුණ පිරිමින් හමුවේ මෝහිනිය රැඟුම් පාමින් දර්ශනය වෙතැයි පොදු පිළිගැනීමක් අදත් ඉන්දියාවේ මෙන්ම අප රටේ ද පවතී. එමෙන්ම තරුණ පිරිමින්ගේ සිත් අනුරාගයෙන් ව්‍යාකූල කොට ඔවුන්ගේ ප්‍රේම සබඳතාවන් පවා සිඳ බිඳ දැමීමට මෝහිනියට හැකි යැයි යන විශ්වාසයක් භාරතීය හින්දූන් තුළ පවතී. එනිසා ඇය එතරම් විශ්වාසවන්ත දෙවඟනක් සේ සලකනු නොලැබේ.
එමෙන්ම රාත්‍රී කාලයට මෙම මෝහිනියගේ ඇල්මට-බැල්මට යොමුවන අවිවාහක තරුණයන්මුහුණ දෙන නින්දේ දී ශුක්‍රානු පහවීම හෙවත් ස්වප්න මෝචනය නම් රෝගාබාධයට නතු වන බවට අපගේ පැරණි සමාජය තුළ විශ්වාසයක් පැවතිණ.ඒ උදෙසා වන ගුප්ත පිළියම් පිළිබඳව ද අසන්නට ලැබිණ.එහෙත් අවිවාහක ,ලිංගික සබඳතා නොපවත්වන සෑම තරුණයකු කෙරෙන්ම දක්නට ලැබෙන මෙම තත්වය තෙත සිහින(Wet dreams)යන සරල නමින් හා Nocturnal emissionයන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලැබේ.මෙය එවන් තරුණයන්ගේ සිත් තුළින් පිබිදෙන අනුරාගී සිතුවිලි සිහින ලෙසින් නිර්මාණය වී නින්දත් නොනින්දත් අතරේ පවතින අක්ෂි චලන අවස්ථාවේ(RIM)සිදුවන ස්වභාවික ක්‍රියාවලියකි.එමෙන්ම මෙය අපේ රටේ බොහෝ දෙනකු සිතන ලෙස මෙය මෝහිනී ගේ බැල්මක් නොවන්නේ මෝහිනී විශ්වාසය පැත්ත පළාතක වත් නැති සමාජයන්හි තරුණයන් දේ මෙම තෙත සිහින අද්මදැකීමට එක සේ මුහුණ දෙන බැවිනි.
ඒ කෙසේ හෝ මෝහිනිය විසින් භෂ්මා අසුරයා විනාශ කිරීම සම්බන්ධ ප්‍රවෘත්තිය නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම අදත් ඉන්දියාවේ බහුල ලෙස සිදු කෙරේ. විශේෂයෙන් ‘උදාගී’ නම් හින්දු සංස්කෘතික උත්සවයේ රඟ දැක්වෙන මෙම මෝහිනී-භෂ්මාසුර රංගනය නම් මනහර නාට්‍ය ජවනිකාව තුළ හුදෙක් කලා රසාස්වාදයකටත් වඩා අප රටේ සොකරි, කෝලම්, ගම්මඩු වැනි ජන රංගනවලට සමාන ශාන්තිකර්ම පක්ෂයේ වටිනාකමක් ඇතැයි ද භාරතීය හින්දු භක්තිකයෝ විශ්වාස කරති.
තිලක් සේනාසිංහ