derana

කොතරම් දැනුවත් කළත් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින බොහෝ පිරිසක් සමාජයේ ජීවත්වෙති.

ඔබේ ඒ නොසැළකිල්ල හේතුවෙන් තවත් කොට්ඨාසයක් කටුක අත්දැකීම් රැසක් සමඟ ජීවිත ගෙවන බව ඔබ දන්නවාද?

මේ එවන් පිරිසක් ගැන දුක්බර කතාවක්.

මතුගම රෝහලේ මේ කොවිඩ් වාට්ටුව සෑහෙන්න කාර්යබහුලයි.

කොවිඩ් සමඟ පොරබඳින රෝගීන්ට ජීවිත දෙන්න එහි කාර්යමණ්ඩලය දරන්නේ අප්‍රමාණ වෙහෙසකි.

මේ කාර්යමණ්ඩලය බොහෝ කලක් තිස්සේ විඳින්නේ මෙවන් අමිහිරි අත්දැකීම්.

මේ ඒ පිළිබඳ අපට පැවසු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන්.

“ගිය රාත්‍රී සේවා මුරයේ, දරුවෝ දෙන්නෙක් තමන්ගේ තාත්තාව තමන්ගේ වාහනේ දාගෙන අඬාගෙන ආවා. අනේ මිස් අපිට උදව් කරන්න තාත්තට හුස්ම ගන්න බෑ … හුස්ම ගන්න බෑ කියලා. ඒ දරුවා පොසිටිව් නෙවෙයිත. නමුත් තමන්ගේ තාත්තට තියෙන ආදරණීය නිසා ඒ දරුවා වාට්ටුව මැද්දට පැන්නා තාත්තාව ඇතුළු කරන වෙලාවේ.”

“සමහර ලෙඩ්ඩු අපෙන් ජීවිතේ ඉල්ලනවා. නමුත් අපිට ජීවිතය දෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. බැරි අවස්ථාත් තියෙනවා. ඔවුන්ට ඒක අවබෝධ කරලා දෙන එකම අපිට කටුක අත්දැකීමක් වෙලා.”

“එක රෝගියෙකුට සත්කාර දෙනකොට තවත් රෝගීන් ගණනාවක්  BAD වෙනවා.”

අපිරිමිත කැපවීමකින් සිදුකරන, ඔවුන්ගේ කාර්ය භාරය පිළිබඳ අදහස් දැක්වු කොවිඩ් රෝගියෙක්.

“අවම පහසුකම් යටතේ මේ රෝහලෙන් කරන කාර්ය ගැන වචනයෙන් කියන්න බෑ. ලොකු රෝහලිකින් කරන කාර්ය වගේම කාර්යක් මේ රෝහලින් කරනවා. ඔක්සිජන් ලබාදීම ආදි සියලු පහසුකම් සපයනවා. රෝහලේ කාර්ය මණ්ඩලයට කරන සේවයට අපි ගෞරවය පිරිනමනවා.”

ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැර මෙතැනට එන අයෙක්ට යළි ජීවිතය දෙන්න මේ කාර්ය මණ්ඩලය දරන උත්සාහය පිටුපස ඔබට නොපෙනෙන කඳුළු කතාවක් තියෙනවා.

කඳුළු පිරි දෙනෙතින් ඔවුන් පැවසූ ඒ කටුක අත්දැකීම් ඔබේ නෙතට කඳුළක් එක් කරාවි.

“සහෝදර නිලධාරීන්ට කුඩා දරුවන් සිටිනවා. ඔවුන් එක දිගට සේවයේ යෙදිලා ඉන්නකොට දරුවෝ මෙහෙට කෝල් කරලා අහනවා අම්මා එන්නේ නැද්ද කියලා. ඉතින් ඒ වගේ මොහොතවල්වලට ඇත්තටම මටත් දෙන්න උත්තර නෑ. “

මේ අතර මතුගම දිසා රෝහලේ වෛද්‍ය අමල් මල්ලවආරච්චි මහතා පවසා සිටියේ, නිවසට ගියත් වෙනදා වෙන් ආදරණීයන් සමඟ කතා කරන්නවත් අවස්ථාවක් මේ වන විට අහිමිව ඇති බවය.

ඇතැම් විට තම වාහනයේ ම රාත්‍රිය ගෙවා දැමීමට සිදුවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් අවදානම දරාගෙන අඹු දරුවන් අමතක කොට ඔවුන් වෙහෙසෙන්නේ ඔබ වෙනුවෙනි.

ඔබ ඔබේ වගකීම් ඉටුකරනවා නම්, පරිස්සම් වනවා නම් මේ කාර්ය මණ්ඩලවලට දැනෙන වෙහෙස තරමකින් හෝ අඩුවේවි.

ඔවුන්ටත්, තමන්ගේ දරුවන් තුරුළු කරගෙන හිතේ හැටියට ඒ ආදරය සෙනෙහස විඳින්න ඉඩක් ලැබේවි.

adaderana

Similar Posts