sakthi

කොවිඩ් 19 වසංගතයේ දරුණුතම අවස්ථාවකට මුහුණ දෙමින් සිටින ශ්‍රි ලාංකිකයින්ට මේ වන විට ඔක්සිජන් වල අවශ්‍යතාව වෙනදාටත් වඩා වැඩියෙන් දැනීමට පටන් ගෙන ඇත. රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, සායනික ඔක්සිජන් ඉන්දියාවෙන් ඇණවුම් කරන ලදි.

ලංකාවට හුස්ම ගැනීමට ඔක්සිජන් ගෙන ඒ්මේ වගකීම පැවරුනේ ශ්‍රි ලංකා නාවික හමුදාවටය. ඒ් අනුව ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා  පහුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව  ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගියාය.

අගෝස්තු 18 දින ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟාවූ නෞකාව,සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අගෝස්තු මස 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට කොළඹ වරාය බලා ගමන් අරඹා  තිබුණි.

එසේ ගමන් ඇරඹු ශක්ති ඊයේ 22 වන දින මධ්‍යම  රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය. ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව මඟින් මෙලෙස රැගෙන එන ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව හෙට දින (24) තවත් සායනික ඔක්සිජන්  තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතය.

තවද, සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව සිදු කිරීම සදහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපතිගෙන් සෘජුවම සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ ශක්ති නෞකාවද ඊයේ (22 )  දින පස්වරුවේ දී කොළඹ වරායට සේන්දු විය.

ශානිකා

Similar Posts