“සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබේ. එහි හිමිකරු එසේ මෙසේ කෙනෙක් නොවේ. සුමන සමන් දෙවියෝ ය. සිරිපා හිමයේ ඇවිදින අතරේ බැරිවීමකින් හෝ ඒ පලතුරු උයනට පිවිසෙන්නෙකු හට කුස පුරා, සිත පුරා ඇති පලතුරු අනුභව කළ හැක. ඊට සමන් දෙවියන්ගෙන් කිසිඳු බාධාවක් නැත. නමුදු ඒ උයනේ කිසිඳු පලතුරක් කිසිඳු ලෙසකින් පිටතට ගෙන යන්නට සමන් දෙවියන්ගෙන් කිසිවෙකුටත් අවසර නොලැබේ.”
සුරංගනා කතාවක් බඳු ඉහත සඳහන් රසාලිප්ත කතා පුවත මා මුල්වරට ඇසුවේ හැත්තෑව දශකයේ අග භාගයේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විෂයන් හදාරණ අතරේ ය. ඒ අපට බෞද්ධ සංස්කෘතිය විෂය ඉගැන්වූ පූජ්‍ය පණ්ඩිත පත්තඬුවන චන්ද්‍රසිරි හිමියන්ගෙනි.
තමන්වහන්සේ කාලයක් ශ්‍රී පලාබද්දල විද්‍යාලයේ (දැන් ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ) ආචාර්යවරයෙකු ලෙස සේවය කරද්දී ශ්‍රී පාද සංස්කෘතිය මුල්කොටගත් එවැනි රසවත් ජන විශ්වාස රාශියක් එක්තැන් කරගත් බව උන්වහන්සේ අප හා කීහ. එවක සිටම ජනශ්රැති සහ ගුප්ත විශ්වාස පිළිබඳ වැඩිදුර විමසීමේ උන්මාදයකින් පෙළුණු මම පාසල් සමයෙන් පසුවද ගම්පහ, මැදගම, සිරි සුනන්දාරාමයට ගොස් උන්වහන්සේ බැහැ දැක සමන් දෙවියන් සතු පලතුරු උයනේ සුලමුල සොයාගත හැකි මඟක් පිළිබඳව විමසා සිටියෙමි.
එවිට උන්වහන්සේ කියා සිටියේ එක්දහස් නවසිය පනහ හැට දශකයන් තුළ මිනිස් වාසයෙන් මුළුමනින්ම බැහැර වූ සිරිපා හිමය තුළ බවුන් වැඩූ නාරද නම් යෝගීවරයෙකු හොරණ ප්‍රදේශයේ අසපුවක දිවි ගෙවන බවත් නොඅනුමානවම ශ්‍රී පාද අඩවියේ පිහිටි සමන් දෙවියන්ගේ පලතුරු උයන පිළිබඳ තොරතුරු බොහොමයක් එතුමන් වෙතින් දත හැකි බවත්ය.
චන්ද්‍රසිරි හිමියන් දුන් හෝඩුවාව මත සිරිපා හිමයේ බවුන් වැඩූ එම යෝගියා පිළිබඳව වැඩිදුර විමසුම් කළ මට හොරණ, කුඩා උඩුවේ ජයබිම අරණ නම් අසපුවක ජීවත්වන නාරද නම් අනගාරික තවුස් තුමෙකු පිළිබඳව දැනගත හැකි විය. පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි පූජා වැඩසටහන්වලදී අතිශය ජනප්‍රියත්වයට පත් බුදුරැස් මාලා කවි ද එතුමන්ගේ නිර්මාණයක් බවද මට දැනගත හැකි විය. ඒ අනුව මම අසූව දශකයේ අගභාගයේදී හොරණ කුඩා උඩුවේ ජයබිම අරමට ගොස් අනගාරික නාරදතුමන් හමුවීමි.
“ඔය සමන් දෙවියන්ගේ පලතුරු උයන ගැන මම හිමේ භාවනා කරන කාලේ සිය දහස් වතාවත් අහන්න ඇති. නමුත් මම කවදාවත් ඔය උයන දැකලා නැහැ. ඒකට හේතුව ඔය උයන හමුවෙන්නේ හිමයේ අතරමංවෙලා දවස් ගණන් ඇවිදින අයට විතරක් වෙන්න ඇති. මමත් හිමයේ හුඟක් තැන්වල ඇවිදලා තියෙනවා. නමුත් කිසිම දවසක අතරමං වෙලා නැහැ.” නාරදතුමා කීය.
සබරගමුවේ ප්‍රභූ පරපුරකට අයත් කලවානේ පොඩි අප්පෝ නමින් ගැමියන් විසින් හැඳින්වූ ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී කලවාන සුමිතුරා මට හඳුනාගන්නට ලැබුණේ රත්නපුර ධර්ම ශ්‍රී මුද්දුවගේ කිවිඳුන්ට පින් සිදුවන්නට ය. ඒ හඳුනාගැනීමෙන් පසු පොඩි අප්පෝගෙන් අසා දැනගත් කරුණු අනුව සිරිපා හිමය ආශ්රිත ජනශ්රැතීන් අධ්‍යයනය කිරීමේ උනන්දුවක් මා තුළ පහළ විය.
ඒ අනුව 1994, 1995 යන දෙවසර තුළ අවස්ථා කිහිපයකදීම ශ්‍රී පලාබද්දල පිහිටි ඔහුගේ නිවසට ගොස් එහි දින ගණන් නතර වී මගේ ජනශ්රැති පිපාසය සන්සිඳුවා ගනිමින් සිටියෙමි. ඔය අතරේ ඊට වසර පහළොවකට පෙර මා අසා තිබූ සමන් දෙවියන්ගේ පලතුරු උයන පිළිබඳ විස්මිත කතා පුවත පොඩි අප්පෝ වෙත පවසා සිටියේ ඒ සම්බන්ධ කිසිඳු හෝඩුවාවක් සොයගත නොහැකි වනු ඇතයි යන පූර්ව නිගමනය ද සිත තුළ දරා ගනිමිනි.
“මේ ගෙට උඩහ හිමේට මායිමේ තියෙන ඉහළ පවනැල්ලෙ ඉන්නවා ඒරොන් මාමා කියලා වැඩිහිටියෙක්. ඒ ඒරොන් මාමා පහුගිය කාලේ ඔය උයනට ගිහින් ජම්බු කඩාගෙන කාලා තියෙනවා. අපි ගිහින් එයාව මුණගැහෙමු.”පොඩි අප්පෝ කීය. ඒ මොහොතේ මට දැනුණු සතුටේ සේයාවක් මෙය ලියන මොහොතේද ආවර්ජනය වේ.
ශ්‍රී පලාබද්දල ඉහළ පවනැල්ලේ එල්.ඒරොන් හෙවත් ‘ ඒරොන්මාමා’ වසර දහයකට ළංවෙන කාලයක් සිරිපා හිමියේ කුණු දිය පර්වතය ආශ්‍රිතව ගල් ගුහාවක හුදක්ලාවේ දිවි ගෙවන ලද අපූර්ව වීර චරිතයකි. “මම ඒ කාලෙ හිමයේ කුණු දිය පර්වතය කිට්ටුව හිමයේ ගල් ගුහාවක නතර වෙලා තමයි හිමයේ කිතුල් මැදලා, පැණි උණු කරලා, හකුරු හදන්නෙ. මිනිස් පුළුටක්වත් නැති ඒ වගේ මහා වනාන්තරයක සතිය හමාර තනියම ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරියක් නෙවේ.
ඒ කාලේ මම සතියකට, දවස් දහයකට විතර උවමනා හාල්, පොල්, පරිප්පු වගේ දෙවල් පොදියක් කරේ තියාගෙන උඩහ දොරල කඩේ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) ළඟින් හැරිලා ගල්පොත්තාව ඔය ඉවුර දිගේ හැතැක්ම පහ හයක් මහ කැලේ මැද්දෙන් උඩට නගිනවා. ඒ හරියේ තියෙන කිතුල් මැදලා, පැණි උණු කරලා,හකුරු හදාගෙන සතියකට, දවස් දහයකට පස්සේ තමයි පහලට එන්නේ. ඒ
කාලේ ඇතුළත හිමේ තියෙන ගල් ගුහාවක් ඇතුළේ උයාගෙන කාලා, පැණිඋණු කරලා, හකුරු හදනවා.” ඒරොන් මාමා කීය.
ඉන්පසු ඔහු තමන් සමන් දෙවියන්ගේ ඒ අසිරිමත් පලතුරු උයනට පිවිසි අන්දම පිළිබඳව විස්තර කරත්ම මා එයට සවන් දෙන ලද්දේ යොවුන් වියේ සිට ඒ පිළිබඳව දැනගැනීමට පැවති කුතුහලය හා උනන්දුව හදවතින් පිටාර ගලන අතරේ ය.
“මේ සිද්ධිය වුණේ 1984 අවුරුද්දේ විතර. ඔන්න මම එහෙම හිමේ තනිවෙලා ඉන්නකොට අකාලේ මහා වැස්සක් කඩාගෙන වැටුණා. මට කිතුල් මදින්න තියා ගල් ගුහාවෙන් එක අඩියක් එළියට තියාගන්න බැහැ.අකුණු වල සද්දෙ ගල් ගුහාව ඇතුළට එන්නෙ කන් අඩි පුපුරන ගාණට කොහොමහරි දවස් තුන හතරක් ගියත් වැස්ස නවතින පාටකුත් නෑ. මම ගෙනිච්ච හාල්,පොල් එහෙමත් ඉවර වේගෙන එන්නේ. ගල්ගුහාව ඇතුළට වතුර ඇවිත්, දර තෙමිලා තේ ඩිංගක් බොන්නවත් බැහැ.
අන්තිමට මට සිද්ධ වෙන්නේ ඒ ගල්ගුහාව ඇතුළෙම මැරෙන්න තමයි කියලා තේරුම්ගත්තු මම ආපහු ගමට එන්න හිතාගෙන එළියට බැස්සා. ඒත් එතකොටත් වහිනවා. ගල්පොත්තාව ඔය පිටාර ගලලා හින්දා වෙනදා එන ක්‍රමේට පහලට බහින්න තියා හිතාගන්නවත් බැහැ. කොහොමහරි මම ඔය විදිහට හිමේ ඇවිදිනකොට මට තේරුණා මං අතරමං වුණා කියලා.
ඒත් මොනවා කරන්නද සමන් දෙවියන්ගෙ පිහිටාරක්ෂාවයි කියලා හිතාගෙන ඔහේ ඔලුව හැරුණු අතේ ඇවිදගෙන ගියා.” එසේ කී ඒරෝන් මාමා තම කතාවේ රසාලිප්තම කොටසට පිවිසියේ ඉන්පසුවය. “මම ඔය විදිහට පැය කීපයක්, දවස් කීපයක් ඇවිද්දද කියලා අදටත් මට
නිනව්වක් නෑ. මට ඒ සේරම හීනයක් වගේ. ඔන්න එක පාරටම මම දැක්කා එක උදේක හරිම අපූරුවට රත්තරන් පාටට ඉර පායාගෙන එනවා.බලන්න ලස්සනයි ඒ ඉර එළියෙන් මට පේනවා සිය දාස් ගණන් පොකුරු පහලට නැමිලා තියෙන ජම්බු ගස්.ඒවායින් පිනි බේරෙනවා. මම පැනපු ගමන් ඒ ජම්බු කඩාගෙන කාගෙන ගියා.
ඒකෙන් මගෙ බඩගින්න වගේම තෙහෙට්ටුවත් නැත්තටම නැති වුණා. ඒ ජම්බුවල රහ නම් මට හිතාගන්නවත් බෑ. කොහොමහරි ඊට පස්සේ ඇවිද ගෙන යන කොට මාව එකපාරටම උඩහ කෙකටිය කඳ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) හරියෙන් මතුවුණා කියමුකෝ. මට දැන් සහතිකයි මට ඒ හම්බවුණේ සමන් දෙවියන්ගෙ පලතුරු උයන කියන එක. ඒත් ඒක තියෙන්නේ කොහේද කියන එක නම් අදටත් ප්‍රශ්නයක්.”
සමන් දෙවියන්ගේ අසිරිමත් පලතුරු උයන පිළිබඳ තොරතුරු දැනගැනීමේ සාපිපාසාව උපරිම ලෙස සංතෘප්ත කරමින් ඒරොන් මාමා කීය.
අප හට ජීවත්වීම පිණිස ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය යම් තරමකින් හෝ තිබිය යුතු ය. එහෙත් කිනම් හෝ හේතුවක් තුළ සිත තුළ පැවතිය යුතු ඒ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය මුළුමනින් සිඳී ගිය පසු ඒ තැනැත්තාගේ ජීවිතය රැකගැනීම පිණිස ජීවිතාරක්ෂක ක්රමෝපායක් වශයෙන් උප විඥානගත ශක්තියක් පිබිද එනු ඇත. එවිට ඒ පුද්ගලයා ස්වකීය පෞරුෂයෙන් අත්මිදෙන අතර යටි සිතෙන් හෙවත් උප විඥානයෙන් මෙහෙයවනු ලබන පරිකල්පන සහ හැඟීම් ආවේග මගින් ඔහු ක්‍රියාත්මක වනු ඇත.
නොනිදා සිටියදී සිහින ලොවකට පිවිසීම වශයෙන් නම් කළ හැකි මෙම තත්ත්වය විද්‍යාවේදී හැඳින්වෙනුයේ විශ්පෞරුෂානය (Depersonalization) යනුවෙනි. මීට වසර හතළිහකටත් ඉහත මා විසින් අසන ලද සමන් දෙවියන්ගේ පලතුරු උයන කතාවේ මනෝ විද්‍යාත්මක පදනම එය බව මට උගත හැකිවූයේ එම සිදුවීම් දාමයට පසුකාලීනවය.
එමෙන්ම මෙම විමර්ශනය සඳහා මට උපරිම අයුරින් අතහිත දුන් ‘පොඩි අප්පෝ’ ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත්ව අද වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ නිහඬ, නිසංසල සෙනසුනක යෝගාවචර හිමි නමක වශයෙන් වැඩ සිටින බව ද මෙම සටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සිහිපත් කරමි.
තිලක් සේනාසිංහ
ඡායාරූප – සහන් සංකල්ප සිල්වා