වස්ගමුව හා ජලගැලුම් නිම්නයේ ඉහළ මහවැලි ගංගාධාර රක්ෂිත ප්‍රදේශයේ කිරි අම්මා ඔයේ අනවසරයෙන් මැණික් ගැරීමේ ජාවාරමක යෙදී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු බෙහෙත් කොටන තුවක්කු දෙකක් හා මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමග පෙරේදා (29 ) රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි.

පොලොන්නරුව කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර් ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි එහි විශේෂ වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහ පිඹූරත්තෑව අඩවි කාර් යාලයේ නිලධාරින් එක්ව ඒකාබද්ධ මෙහෙයුමකින් පසු මෙම පිරිස අත් අඩංගුවට ගැනීම ට හැකි විය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකි.ඔවුන් සන්තකයේ තිබී බෙහෙත් කොටන ලද තුවක්කු දෙකක්,ඊයම්,වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍යත් ඉවුම් පිහුම් සදහා යොදාගන්නා හට්ටි මුට්ටි හා සහල් තුණපහ ඇතුළු ද්‍රව්‍ය ද මැණීක් ගැරීම සදහා යොදා ගන්නා ඉල්ලම් කූරු,ගැරුම් වට්ටි ඇතුළු ද්‍රව්‍ය රැසක් ද අත් අඩංගුවට ගැනීමට මෙම නිලධාරින් පිරිස සමත් වී ඇත.

කොරෝනා වසංගතය අතරේ වනජීවී කලාප තුළට අනවසරයෙන් රිංගා  සතුන් දඩයම් කිරීම දැව ජාවාරම් හා මැණික් ගැරීමේ ක්‍රියාවන් වැඩි වශයෙන් මෙම ප්‍රදේශයේ සිදුවන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.සැකකරුවන් ඊයේ (30) දෙහිඅත්තකණ්ඩිය මහේශ්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.පින්තූරවල දැක්වෙන්නේ අත් අඩංගුවට ගත් ගිණි අවි ඇතුළු උපකරණ තොගයයි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts