ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“අපි පළාත් අතර සංචරණ සීමා පනවාගෙන යනවා. එසේ වුවත් ජනතාව සිද්ධස්ථානවලට ඒවගේම මළගෙවල්, මඟුල් ගෙවල්වලට තමන්ගේ පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට ඉතාම අධික විදියට එකතුවෙලා නරක විදියට පුර්වාදර්ශයක් දෙමින් තියෙනවා.
ඊයේ මම අටමස්ථානය වැඳපුදා ගන්න ගියා.
විශේෂයෙන්ම දැක්කා රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්නයේ ඉතා විශාල පිරිසක් එකතුවෙලා සිටිනවා.
විශේෂයෙන්ම මේ සති දෙකකට තුනකට පෙර දවසකට 200ක් මියගිය රටක්. තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැතිවුණා කියලා හිතන්න නරකයි. අපිට කිසිම වගකීමක් දෙන්න බෑ ඉදිරියේ දී මේ වෛරස් එක වෙන්නේ නෑ කියලා.
පෙන්න තියෙනවා ලෝකයේ නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවෙමින් පවතිනවා. රෝගීන් හා මරණ ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා.”