යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකය විසින් උතුරේ ක්රිකට් ක්රීඩකයින් සඳහා සංවිධානය කරන ලද පූර්ණ දින ක්රිකට් පුහුණු කඳවුරක් ඉකුත් ඉරිදා (24) දින යාපනය ශාන්ත පැට්රික් විද්යාල ක්රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව අර්ධද්වීපයේ සිටින තරුණ ක්රිකට් ක්රීඩකයින් අතර ක්රීඩා කුසලතා වැඩි දියුණු කිරීම සහ උතුරු පළාතේ තරුණ ක්රිකට් ක්රීඩකයින් අතර සුහදතාවය ප්රවර්ධනය කිරීමේ අරමුනින් යුතුව සංවිධානය කරන ලදී. තවද මෙම වැඩසටහන තුළින් අනාගතයේදී ශ්රී ලංකා යුද හමුදා ක්රිකට් කණ්ඩායමට එක්විය හැකි සුවිශේෂී දක්ෂතා ඇති තරුණ ක්රීඩකයින් තෝරාගැනිමට ද හැකි වනු ඇත.
පුහුණු කඳවුර මෙහෙයවනු ලැබුවේ ප්රමුඛ පෙළේ ක්රිකට් තරුවක් වන ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ කපිතාන් අජන්ත මෙන්ඩිස් ඇතුළු ජාතික ක්රිකට් කණ්ඩායමේ සහ යුද්ධ හමුදා ක්රිකට් කණ්ඩායමේ ප්රවීණ ක්රිකට් ක්රීඩකයින් පිරිසක් විසිනි.
මෙම වැඩසටහන සඳහා යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මන්නාරම සහ උතුරු පළාතේ අනෙකුත් ප්රදේශයන්හී පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් ක්රිකට් ක්රීඩකයින් 75 දෙනෙකු සහභාගී වූ අතර එහිදි ඔවුන්ට පිතිකරනය සහ පන්දු යැවීම පිළිබඳ මනා පුහුණුවක් ලබාදුන්හ.