එකමත් එක දවසක වෙළෙන්දෝ පිරිසක් කාන්තාරයක් හරහා වෙළෙඳාමේ ගියා. ඔවුන් කාන්තාරය පහු කරලා ප්රධාන නගරයට ළඟා වෙන්න ඉතා අසන්නව තමයි හිටියේ.
ඉර අහසින් සමු ගන්න වෙලාවේ මේ කණ්ඩායම වෙහෙස නිවා ගන්න වැලි කතරේ කූඩාරම් ගැහුවා. කණ්ඩායමට අලුතෙන්ම එකතු වුණ කොළු ගැටයෙක්ට නායක වෙළෙන්දා පුංචි රාජකාරියක් බාර දුන්නා.
“කොළුවෝ මෙහාට වරෙන්. අන්න අර ඔටුවෝ විස්ස හොඳට ලණුවලින් ගැට ගහලා දාපන්. නැත්නම් උන් උදේ වෙද්දී එහෙ මෙහෙ ගිහින් තියෙයි.”
කොළුවා ඔටුවෝ දහ නවයක්ම ලණුවලින් ගැට ගැහුවා. නමුත් එක් ඔටුවෙක් බැඳලා තියන්න ලණුවක් තිබුණේ නැහැ. ඔහු මේ බව නායකයාට කිව්වා.
“ආහ්. ඕක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඌ ළඟට ගිහින් බොරුවට ලණුවක් බඳිනවා වගේ රඟපාලා පෙන්වපන්. ඌ ඔහේ ඉදියි. ” කොළුවා ඔටුවා ළඟට ගිහින් බොරුවට ලණුවක් බඳිනවා වගේ ඔටුවාගේ කර වටේ ලණුවක් බැන්දා. නමුත් එදා රාත්රියේ ඔහුට හොඳට නින්ද නම් ගියේ නැහැ. ඔටුවා පැනලා යයි කියලා ඔහු විශ්වාස කළා.
උදෑසන අවදි වුණ ගමන්ම ඔහු ඔටුවන් බැඳ තැබු ස්ථානයට දුවලා ගියා. ලණුවකින් ගැට ගහලා නැති ඔටුවා ලණුවලින් ගැටගසා ඇති ඔටුවන් වගේම සිය සීමාව තුළ කීකරුව හිටියා ඔහු දැක්කා.
සමහර මිනිස්සුත් සීමාවක් නැතිව සීමා වෙනවා. හරියට ඒ ඔටුවා වගේ.
කැලුම් වැලිගම…
(උපුටා ගැනීමකි)