පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.
මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.
කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.