විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නො දෙන බවයි බලශක්තිය අමාත්‍යවරයා පවසන්නේ.
ඉන්ධන නොමැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ අතර, ඒවා යථා තත්ත්යට පත්කර ගැනීමට ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකක දී ලබා දුන් බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මෙලෙස විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව කලින් දැනුවත් කළ යුතු බවයි.
ඒ ඩොලර් ලබාදුන් පසුවද ඉන්ධන ආනයනය සඳහා සතියක පමණ කාලයක් ගතවන බව ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පවසා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසන්නේ, විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතු ව නො මැති බවයි.
යම් හෙයකින් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් ඉදිරි සතියකින් පමණ මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කිරීමට ඉන්ධන තොග නැති ව යන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
ඒ අනුව දැනට ඉතිරි ව ඇත්තේ, පැහැදිලි විකල්ප දෙකක් පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එක්කෝ විදුලිය නිෂ්පාදනය කර ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ නැතිනම් පැය කිහිපයක් අඳුරේ සිට නිසි කළමනාකරණයකින් යුතුව එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම බවයි.
කෙසේ වෙතත් දිනකට පැය දෙක තුනක් විදුලිය කපා හැර මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුව ද රථ වාහන අවශ්‍යතා සඳහා එවැනි විකල්ප වැඩපිලිවෙළක් කරා යොමු වීමේ හැකියාවක් නො මැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.
මේ වන විට විදුලිබල මණ්ඩලයට වරින් වර ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 920ක මුදලක් බලශක්තිය අමාත්‍යාංශයට ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද රුපියල් කෝටි 650ක ඉන්ධන බලශක්ති අමාත්‍යංශයෙන් ණයට ලබාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
එබැවින් අදාළ ආයතන දෙකට ම ඉන්ධන අවශ්‍ය නම් කඩිනමින් ඩොලර් ලබාදීමට කටයුතු කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම නිල දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ඉන්ධන සඳහා ඩොලර් ලබාදුන් බවත් මෙතෙක් විදුලිබල මණ්ඩලය එසේ කර නො මැති බවත් අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ සිය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් විදුලි බල මණ්ඩලයේ පවසා ඇත්තේ, ජනවාරි මස අවසන් භාගය වන තෙක් තමන් සතු ව ඇති තෙල් සංචිත කළමනාකරණය කරගත හැකි බවයි තත්ත්වය එසේ තිබිය දී පසුගිය 13 වැනි දා සිට විදුලිබල මණ්ඩලයට ඉන්ධන අවශ්‍යව ඇති බව ඊට දින දෙකකට පමණ පෙර සිය අමාත්‍යාංශයට දැනුම් දුන් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
මෙරට ආර්ථිකය බරපතළ ඩොලර් හිඟයකට මුහුණ පා ඇති අවස්ථාවක එවැනි හදිසි දැනුම් දීම් සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්විය නො හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ, දැනට පවතින තත්ත්වය අනුව ඛණිජ තෙල් ආනයනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සකසා ගත නොහැකි වුව හොත් ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට මෙන්ම මෙරට දෛනික ප්‍රවාහනයට ද බරපතළ ගැටලු සහගත තත්ත්වයක් ඇති කරනු ඇති බවට යි.
බොහෝ විට පෙබරවාරි මස මුල සිට පැය හතරක පමණ කාලයක විදුලිය කප්පාදුවක් සිදු විය හැකි බවටත් ඔහු අනතුරු අඟවනවා.