පාස්කු ප්‍රහාරය හා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළිකිරීමට එරෙහිව තමාට එල්ල වන චෝදනා ගැන ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනයක් සිදුකරන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට ලිපියක් යවමින්  ඉල්ලීමක්  කර තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට විවිධ පාර්ශව වලින් නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හා පොලිසිය සිදුකළ විමර්ශනවලින් තමා නිර්දෝෂී පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙන බවද රිෂාඩ් බදියුඩීන් මහතා අවධාරණය කර සිටීයි. ඒහෙයින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර මේ පිලිබඳ විශේෂ විමර්ශනයක් කරන ලෙස ඔහු ඒම ලිපියෙන් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි.

රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.

පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා  සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ.

එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කළ චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි. තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවමගින් විමර්ෂණය කළ අතර පොලිසිය මගින් කළ පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් කතානායකවරයා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි. එකාමෙන් සමගියෙන්  ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි. 1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.

වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි. මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.

Similar Posts