ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්.
හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්, සීනි කම්හල්, කඩදාසි කම්හල් වැහුවා.
තෙල් සංස්ථාව කියන්නේ ඉතාමත් වැදගත් ආර්ථික මර්මස්ථානයක්. 1972දී පවුම් ලක්ෂ දෙකහමාරක් දීලා ලංකාවට පවරාගත්ත තෙල් ටැංකි ටික අද සතයක්වත් ගන්නේ නැතිව ඉන්දියාවට පවරා දුන්නා.
තෙල් පිරිපහදුවේ අතුරුපලවලින් හදන යූරියා, කෘමිනාශක, ඔයිල්, නැව් තෙල්, නයිලෝන් හැදුවා. ඒ සේරම විකුණලා හෝ වහලා දැම්මා. මේ පාලකයන් රට හදපු අය නොවෙයි වනසපු කට්ටිය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දසානායක මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ පසුගියදා කෑගල්ල නගර ශාලාවේ සංවිධානය කර තිබූ ජාතික ජන බලවේගය දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ හෙතෙම මෙසේද පැවැසීය.
“ මේ මොහොතේ අපි මුහුණදී තිබෙන ප්‍රධානතම අර්බුදය තමයි ආර්ථිකය කඩා වැටීම. මේ ආර්ථිකය කඩා වැටීම ස්වාභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවෙයි. මේ විපත්තිය සිදු වී තිබෙන්නේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද අර්බුදයකින්. සමහර අය උත්සාහ කරනවා මේක කොවිඩ් පිටිපස්සේ හංගන්න. ඔබට මතක ඇති මීට කලින් මේ ආර්ථික ප්‍රශ්න හැංගුවේ යුද්දේ පිටිපස්සේ. ඒ කාලේ කිව්වා යුද්ධයක් කර කර බෙහෙත් දෙන්න බැහැ, බඩු මිල අඩු කරන්න බැහැ, ආර්ථිකය හදන්න බැහැ කියලා. යුද්ධය අවසන් වුණාට පස්සේ සියලු ජන ප්‍රජාවන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති වුණා අපේ රට සුඛිත මුදිත කරයි කියලා. ඊට පස්සේ කිව්වා මේ රට ආසියාවේ ආශ්චර්යය කරනවා කියලා. ගෑස් හිඟ, විදුලිය කපන, කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම් තියෙන රටක්. ඒකද දන්නේ නැහැ ආශ්චර්ය කිව්වේ.
මේ ආර්ථික අර්බුදය ඇති වුණේ කොවිඩ් නිසා නොවෙයි. කොවිඩ් නිසා බංගලාදේශයේ, ඉන්දියාවේ, පාකිස්තානයේ, වියට්නාමයේ විදෙස් සංචිත වැඩිවුණා. ලංකාවේ බින්දුවටම වැටුණා. එතකොට ඒ රටවල තිබුණේ වෙන කොවිඩ් එකක්ද. මේ අර්බුදයේ හේතුව කොරෝනා නෙවෙයි. දැන් අලුත් කතාවක් කියන්න ලෑස්තියි. කොරෝනාවලින් පස්සේ රුසියාව යුක්රේනයට ගැහුවානේ. දැන් ඒක පිටිපස්සේ හැංගෙන්න බලනවා.
මේ අර්බුදයේ ඇත්ත හේතුව තමයි 1977න් පසුව මේ රටේ ඇති කරපු ඊනියා ආර්ථික ප්‍රතිපත්තිය. එතකොට සමහරු අපෙන් අහනවා ඔයාලා කියන්නේ 70 _ 77 තිබුණා වගේ සංවෘත වහපු ආර්ථිකයක් ගැනද කියලා. නැහැ විශේෂයෙන් 2005න් පස්සේ අසීමිත ලෙස ණය ගන්න පටන් ගත්තා. ගුවන් යානා එන්නැති ගුවන් තොටුපළවල්. නැව් එන්නැති, වරායවල්. සම්මන්ත්‍රණ තියන්නැති සම්මන්ත්‍රණ ශාලා හැදුවා. මහා ණය උගුලක අපේ රට හිර කළා. හම්බන්තොට වරාය හදන්න චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 1200ක් ගත්තා. පස්සේ රනිල්ගේ ආණ්ඩුව මේක බෙදා දෙන්න ගියාම සමාගමම කියනවා මේකේ වටිනාකම ඩොලර් මිලියන 900 යි කියලා. මොකද හදපු කෙනාම තමයි ගිය වියදම දන්නේ.
මේ මහා ව්‍යාපෘති පිටිපස්සේ විශාල කොමිස් කුට්ටි තියෙනවා. අපේ හිටපු විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මහත්තයා. එතුමා 2018දී වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතකොට අපේ ණය ප්‍රමාණය කෝටි එකොළොස් ලක්ෂයයි. මේ 2021 දෙසැම්බර්වලට අපේ ණය කෝටි දාහත් ලක්ෂ හැටදාහයි. මේ දෙසැම්බර් වන විට අපේ ණය ප්‍රමාණය කෝටි විසි එක්ලක්ෂයයි. ගාමිණී විජේසිංහ මහත්තයා 2018දී කියනවා අපේ ණය ප්‍රමාණය කෝටි එකොළොස් ලක්ෂයයි. එතුමා හෙව්වා මේ කෝටි එකොළොස් ලක්ෂයට වත්කම තියෙනවාද කියලා බැලුවාම වත්කම් තියෙන්නේ ටි්‍රලියන 1.8යි. 9.2ක්ම නැහැ. අපි හිතන්නේ හොරා කන්නේ සියයට දහයයි කියලා. නමුත් රටට ඉතිරි කරලා තියෙන්නේ සියයට දහයයි “යැයි පැවැසීය.
දෙවනගල – ජනනාත් වික්‍රමසිංහ (මව්බිම)