ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ.
ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළා.
ඊයේ රාත්‍රියේත් කථානායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිත බැවින් එරටට ළගා වූ පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කරන බව දන්වා ඇති බවයි.
ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි.
ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම ගුවන් යානයේ ගමන් කර නොමැති බව ද එම පුවත් සේවය වාර්තා කර තිබුණා. ඒ අනුව මාලදිවයිනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව ද වාර්තා වන බවයි මාලදිවයිනේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ.
මේ අතර වැඩබලන ජනපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.