නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම් වුණත් දැන් දැන් හැදෙනවා ඕසෙට. විමුක්තිගේ චත්රක්, ඒ වගේ සිනමාවක්. මට හිතෙන්නෙම ශිෂ්ඨාචාරේ හොයාගෙන ඉවක් බවක් නැතුව දුවපු අපි ආයිත් ආපස්සට දුවන්නමයි කතාව!. ඒත් ඒක ලේසි කතාවක් නෙවෙයි. හැබැයි ඕනිම නම් කෙනෙකුට පුලුවන් නිමාඩුවක් දාලා, කැලේට දුවන්න. දුවලා ගිහිං අර ආසාවේ මඳක් කිමිදිලා ආයිත් නිවිලා සැනහිලා, ඒ සිහිලස වඩාගෙන නගරෙට එන්න. දැන් දැන් ඒක කරන අයත් බොහෝමයි.

ඉතිං ඔහොම කල්පනා සංසාරයක් අස්සේ කාලෙක ඉඳලා යන්න හිටපු ගමනාන්තයක් තමයි පිටකැලේ ගම. මේ පිටකැලේ තියෙන්නේ කුකුළුකෝරළේ උඩත්තාවේ. නැත්තං සිරසේ. සිංහරාජයට මුලු ඇගම අලෝගෙන ඉන්න ගමක් මේක!. ඔබ කලවාන වැද්දාගල පාරේ ගිහිං කුඩවෙන් සිංහරාජෙට යනවනම් අමතර ගමනක් විදිහට යන්නම ඕනී ගමක් මේක.

ඔබ සිංහරාජ එන්ටරසයට යන්නෙ නැතුව දකුණට හැරිලා වැවගම පැත්තට කුඩව ගඟ දිගේ ඉහළ ගියොත් ඔන්න, කොන්ක්‍රීට් පාරක් ඇති කන්දක් මුදුණට. වමට උඩට තියෙන පළවෙනි පාර. මේ දුෂ්කර මඟට කොන්ක්‍රීට් වැටිලා වැඩි කාලයක් නෑ. විදුලිය ගැන කතාව වුණත් එහෙම තමයි. හතර වටේම කඳු. එක කන්දක, කඳු ශරීරයක මම ඉහළට යනවා. තවත් කඳු ගොඩක් නිම්නයෙන් එහා ක්ෂිතිජයේ ඉඳලා ඇහට පනිනවා. සරසරය එක්ක රැහැයියෝ කෑගානවා. ඉතිං ගම ළඟමයි කියලා හිත කියනවා. පහළ තුරු සේළයෙන් එබි එබී බලන ගංගාව අත වනනවා. දූවිලි ඇල්ල ළඟ මම නතර වෙනවා. කල්පනා කරන්න බොහෝමයි..!

කුකුළුකෝරළය

පිටකැලේ කියන්නේ ඇත්තටම පරණ ගමක්. මේ ගමේ අතීතේ ලියන්න කළින් මේ ගම අයිති කෝරළයේ අතීතය ගැන ටිකක් හොයන්න හිතුනා. එහෙම හිතිලා හොයාගෙන යනකොට හරි අපූරු පොතක් මුණගැහුණා. කුකුළුකෝරළේ විත්ති. කතෘ තමයි කලවානේ ජයසේකර. මම දැන් ඉන්න මේ බුළුතොට කඳු ගැන ඒ පොත මෙහෙම කියනවා.

‘රක්වාන කඳු මධ්‍ය කඳුකරයෙන් වෙන් වෙන්නේ කළු ගඟේ අතු ගංගාවක් වන වේ ගඟ ගලාබසින විභේද නිම්නයෙනි. බුළුතොට- රක්වාන හෙල්වල ගිණිකොන සිට වයඹ දිගට විහිදී යන දකුණු කෙළවරෙහි අඩි 3000කට වඩා උස් කඳුවැටි පිහිටා ඇත. ගොන්ගල, සූරියකන්ද, බුත්කන්ද, සිංහරාජය ඉන් කිහිපයකි. මෙම බුළුතොට හෙළ් සෙසු කඳුවැටිවලින් වෙන් වන්නේ කළු ගඟේ අතු ගංගාවක් වන දෙල්ගොඩ ගං නිම්නයෙනි. මෙම කඳු ප්‍රපාතාකාරව බෑවුම් වෙමින් කළු ගං මිටියාවත දක්වා විහිදී යයි. මෙම කඳුවැටි අතර දෝරුවක කුකුළුකෝරළය පිහිටා ඇත’.

මම ආයිත් කඳු පාරේ ඉහළට නඟිනවා. ළඟින්ම හිත කීරිගස්සන පල්ලම. ඈතින් තවත් කඳුවැටි ගොඩක් එකපෙළට කිසි කමක්කාරියක් නැතුව අපිළිවෙලට මාදිහා බලාන ඉන්නවා. සරසරය මා එක්කම ගමට යන්න එනවා. පිටකැලේ ගඟ, කුඩව ගඟ කියලත් මේ ජල කඳට කියනවා. කොහොම වුණත් කළු ගඟේ ලොකුම සහ විශාලම ජල ධාරිතාවය තියෙන කුකුළේ ගඟට තමයි මේ ගඟත් වැටෙන්නේ. මමත් ඉතිං ගඟට වැටුණා. කළු වඳුරෝ, මොකාද බොල මේ වඳුරා කියලා උස් තුරු මුදුන් හොයනවා. සිසිලස හැමතැනම..

අපි රත්නපුරේ ඉඳලා කලවාන හරහා පිටකැලේට යනකොට දෙල්ගොඩ, දෙල්ගොඩ කියපුගමන් මතක් වෙන්නේ සපරගමු නැටුම් පරපුර. දෙල්ගොඩ ගමේ අතීතය අනුරාධපුර යුගයට දිගයි කියලා තමයි කතාව. දෙල්ගොඩ පහුවුණාම ඊළඟට හම්බ වෙන්නේ වැද්දාගල. වැද්දාගල කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන ගමක්. කුඩව දියුණු වෙන්න කළින් පිටකැලේ මිනිස්සු අවශ්‍යතා ඉටු කරගෙන එන්න ගියේ වැද්දාගල කඩ මණ්ඩියට. මේ වැද්දාගල ගැන ‘ලංකා ජනතාව’ කියන පොතේ ආචාර්ය නන්දදේව විජේසේකර කියනවා මෙහෙම.

‘විජය රජ්ජුරුවෝ එළෙව්වට පස්සේ කුවේණියගේ දරු දෙන්නා සපරගමුවට ඇවිත් තමයි ජීවිතය බේරගෙන තියෙන්නේ. ඒ අයගෙන් පැවතගෙන එන අන්තිම වැද්දා වැද්දාගල කියන ගමේ හිටියා කියලා තමයි කියන්නේ’.

සබරගමුව කිව්වහම වැද්දෝ හිටිබව කියවෙනවා කියලා කියනවනේ..!

වැද්දා කළ දරුණුකම් බැරුව ඉවසුම
විද්දා ගලක් දඬු ගැසු මැරෙනා තුරුම
ලද්දා එයින් නම පවසති දන සැවොම
වැද්දා ගල හොඳයි සුව පහසු ඇති ගම

ලද්දා දිව යෝද බලැති කුරිරු හදැති වැද්දා
වැද්දා සිට ආවත් මෙගම අතපය බැව් ලද්දා
විද්දා සැරයක් කෝපව ගල පියවපු ලද්දා
වැද්දාගල යන නමය වූයෙලු පරසිද්දා

අර කියන කතාව සනාථ කරන කතාවක් තමයි මේ ජනකවි දෙකෙන් කියවෙන්නේ. ඉතිං දැන් අපිට පුලුවන් වැද්දාගල ඉඳලා පිටකැලේ ඉතිහාසෙට ඇවිදගෙන යන්න..

සොහෝයුරෝ තිදෙනෙක්

‘මම මේ ගමට ආවේ 1980 අවුරුද්දේ. මම එනකොට එදා ගමටම තිබුණේ ගෙවල් 11යි. දැන් ගෙවල් 34ක් තියෙනවා. මගේ ගම කුරුවිට එරත්න. මම ඒ කාලේ වැඩ කළේ රාජ්‍ය ධැව සාංස්ථාවේ. ඉතිං මාව ට්‍රාන්සර් කළා මොරපිටිය කාර්‍යාලයට. අපේ කඳවුරක් තිබුණා මේ ගමේ කෙළවරේ. අපි නාන්න එහෙම එන්නේ මේ ගමට. එහෙම එනකොට තමයි මට නෝනා මුණගැහෙන්නේ. එයා දයාවතී. පස්සේ මම දයාවතී එක්ක මෙහේ නැවතුනා. එයාගේ තාත්තා තමයි ඉස්සර මේ ගමේ හිටිය ලොක්කා, මැනා මුදලාලි කියලා තමයි කවුරුත් කිව්වේ. මම අහලා තියෙන විදිහට සහෝදරයෝ තුන්දෙනෙක් ඇවිත් තියෙනවා කිතුල් කපන්න කැලේට. මේ ගමේ තිබුණ කුඹුරු එහෙම දැකලා උන්දලැ මේ ගමේ නැවතුනා කියනවා. ඕක තමයි ආරම්භය කියලා කියන්නේ’

කොස්වත්තලාගේ සිමියොන් විජේසුන්දර මාමා පිටකැලේ ගමේ ඉතිහාසය එළිපෙහෙළි කළේ එහෙම.

අපි මේ ඉතිහාස කතාව තව ටිකක් සහසුද්දෙන් අහගන්න හිතාගෙන මාමලාගේ ගෙදර ගියා. මාමගේ තේ දළු කැඩිල්ලත් මම ඉවර කළේ ඔන්නොහොම.. ගෙදර යනකොට නැන්දත් දළු කඩන්න වත්තට ගිහිං. කොහොම වුණත් ඒ දළු කැඩිලත් අතරමඟ. අපි කතාවට වැටුණා. හරිම ලෙන්ගතු, ලැජ්ජාවට හිත මිනිස්සු තමයි පිටකැලේ ඉන්නේ. නැන්දගෙන් වචනයක් ගන්න එක ලේසි නෑ. පොටෝ ගන්නත් බෑ.

‘මම ඉපදුනේ 1956 අවුරුද්දේ. 1960 වෙනකොට ගෙවල් පහක් ඇති. තාත්තා තමයි මැනා මුදලාලි. අපේ ගෙදර විතරයි ගලින් බැඳපු ගෙදරකට තිබුණේ. සිංහල උළු වහලා. අනික් ගෙවල් වරිච්චි බිත්ති. වහලවල්වලට හෙවිල්ලලා තිබුණේ බටකොළයි බේරු කියන කොළ ජාතියයි. අපේ පවුලේ ගෑනු දරුවෝ 8යි. පිරිමි 4යි. පිරිමි අයනම් දැන් සේරම මියැදිලා ඕන්..’

නැන්දගේ නම දයාවතී. තේ ගහටම දියවෙලා. කහට පාට ඇඳුම ජීවිතයේ පාට කියනවා. තේ සුවඳ ගෙදර පුරාම. අන්තිමට ලෙමන් ෆෆ්මය හැන්දෑවක් වුණා, මේ හැන්දෑව. කහට රහා එක්ක හකුරු රහ එකතුවුණාම හැදෙන රහා ආයි කියන්න දෙයක් නෑ.. නැන්දත් මේ ගම හදපු සොහොයුරෝ ගැන එහෙන් මෙහෙන් ඇහිඳගත්ත ඉතිහාසයක් කියෙව්වා. ඒ කතා කැබලි එකට අමුණගන්න පුලුවන්, වෙන කතා අහුරක් අරං තරුණයෙක් මම මාමාලාට සමුදීලා එනකොට පාරේ හිටියා. මිනිහා දිනේෂ් ප්‍රියන්ත.

වරුෂප්පුලිගේ පිටකැලේ

‘කොහොම හරි කිතුල් කපන්න තුන් දෙනෙක් ඇවිත් වාඩි ගහගෙන නැවතිලා ඉඳලා තියෙනවා. ඒ වාසගම් දෙකකට අයිතිව. වරුෂප්පුලිගේ සහ කරවිට දිගන්නලාගේ කියලා. අද ගමේ ගොඩාක් අයට තියෙන්නේ මේ වාසගම් දෙකෙන් එකක්. වරුෂප්පුලිගේ කියන වාසගම තියෙන අය තමයි ගොඩක් ඉන්නේ. මේ ගමට මේ ගඟෙන් එහා පැත්තේ කුඹුරු යායක් තියෙනවා. අක්කර 7ක විතර. ඒ නිසා තමයි අර තුන්දෙනා මේ ගමේ නැවතුණේ. මේ කුඹුරු ගමේ ප්‍රධාන පවුල් පහකට අයිතියි. සම සමව තමයි බෙදිලා යන්නේ. ඒ ගෙවල් පහෙන් තමයි දැන් ගම ලොකු වෙලා තියෙන්නේ.’

දිනේෂ් ගම ගැන කියන්නේ ඒ වගේ කතාවක්. කොහොම වුණත් අවුරුදු 200කට එහා ගිය ඉතිහාසයක් ගමට තියෙනවා. ‘මේ කැලේ අස්සේ වතුරාව කියලා කුඹුරු යායක් තියෙනවා. එතන අක්කර 10ක් විතර. ගමේ හැවෝටම අයිතියි. ඒකත් දැන් කැලේටම ගිහිං තියෙන්නේ’..

මේ කුඹුරු කැලේටම සින්නවෙලා, ගොවිතැන් කරපු මිනිස්සු තේ දළු වලින් ජීවිතය ගැටගහ ගන්න මිනිස්සු වෙලා. ඒක වෙනම කතාවක්!. අවුරුද්දේ මාස 12න් මාස 8ක්ම පිටකැලේට හොඳටම වහිනවා. අප්‍රේල්, මැයි තමයි හද්දා වැස්ස ගෙට එන්නේ. ගිය පාර වැස්සට නාය ගිහිං කන්ඳක් කඩාගෙන වැටිලා එකම පවුලේ 5දෙනෙක් මැරෙනවා. ගොඩාක් වැස්ස වැඩිවුණාම තේ දළු ඇදෙනවා හොරයි. වැස්ස අඩූම වුණාමත් එහෙමයි. ඒ නිසා මැදින් තියෙන්න ඕනී. ඒත් එහෙම නෑ. පොඩි එකාගේ පස්සයි මෙහේ වැස්සයි, විශ්වාස නෑ දෙයියෝ කියලා තමයි කතාවට කියන්නේ. සමන් දෙයියෝ වැස්ස බෙදාගන්න යන්නේ නැතුව හලාගෙන යන්න කියපු නිසානේ මේ, කියලා ගොඩාක් අය කතාව.

ගම මැදින් ගලන ගඟ

කඹරකොත කන්ද එක පැත්තකින් උසට උසේ, අනික් පැත්තෙන් සිංහරාජේ කන්ද උසට උසේ, ඒ අස්සෙන ගලන පිටකැලේ ගඟ ගම දෙකට බෙදලා. ගෙවල් 34න් වැඩි කොටහා තියෙන්නේ කුඩව ඉඳලා එනකොට ගඟෙන් වම් අත පැත්තේ. දකුණු අත පැත්තේ ගඟෙන් එගොඩ ගෙවල් 10ක් විතර තියෙනවා. ඒ ගෙවල්වලට යන්න එන්න තියෙන්නේ කැලේ ලී දාලා හදාගත්ත ඒදඬු. ඒවා හද්දා වැස්සට පස්සේ එන ගංවතුරට ගහගෙන යනවා. ආයි ඉතිං මේ මිනිස්සු ගස් කපලා ඒදඬු දාගන්නවා. එක තැනක නම් යකඩ කඳක් ගඟ හරහා දාලා ටිකක් විතර ස්ථිර පාලමක් හදාගෙන තියෙනවා. පාලම කිව්වට ඒකත් එහෙට මෙහෙට පැද්දෙන ඒදණ්ඬක්ම තමයි. ගල් ගිගිරියානයක් වුණ ගඟ, පහළින් ගලනවා, මමත් ඒදණ්ඬ උඩ. අම්මෝ වැනෙන වැනිල්ලක්..! ඇයි ඇත්තටම කුඹුරු කරන්නේ නැත්තේ.. මම අපේ විමලරත්න අයියගෙන් අහනවා..

‘මේකයි මහත්තයෝ අපි ඉස්සර නම් හාල් ඇටයක් කඩෙන් ගෙනාවේ නෑ. ඒත් මේ සත්තු එක්ක කුඹුරු කෙරුවාව කරන්න බෑ. දැන් තුවක්කුත් අපි අතේ නෑ. ගෝනගෙන් වල් ඌරගෙන් වගාවල් බේරගන්න බෑ අපිට. ඉතිං අපි බොරුවට කුඹුරු කරන්නේ ඇයි. ගෝනා ආවහම කෙහෙල් කැනක් තියන්නේ නෑ. තේ ගස් හෙවනට හිටවලා තියෙන ලාඩප්පා (ගිරිසීඩියා) ගස් පවා ගෝනා කනවා. ඊළඟට වල් මීයා, ආවොත් මොකවත් ඉතුරු කරන්නේ නෑ. දැන් මෙහේ මිනිස්සු එච්චර කිතුල් කපන්නෙත් නෑ. ඒ මොකද දවල්ට තෙලිජ්ජ ටික රිලවා බොනවා. රෑට උගුඬුවෝ බොනවා. ඉතිං මොකටද මේවා කරන්නේ. කැලේ තියෙන කුඹුරුත් මේ සත්තු නිසා පුරන් වෙලා තියෙන්නේ. අපිට දැන් මේ සත්තු එක්ක කිසිම ගොවිතැනක් කරන්න බෑ. දැන් තේ වලින් තමයි යන්තම් ජීවිතේ ගැටගහ ගන්නේ. සමහරු නම් වන සංරක්ෂණේ වැඩට යනවා. මෙහේ ජීවිතේ හරිම අමාරුයි. දැන් ලයිට්, පාර තියෙන නිසා ටිකක් ලේසියි’

විමලරත්න අයියගේ කතාවට තව ටිකක් එකතු කරන්න ඕනී. ඒ තමයි ගමට ඉස්කෝලයක් නෑ. ඉතිං ගොඩාක් අය ළමයි උස් මහත් වෙනකොට කුඩවට නැත්තං වැද්දාගලට ගිහිං ගෙයක් කුලියට ඉන්නවා, දරුවෝ ඉස්කෝලට දාගන්න. කුඩවෙන් ගෙයක් කුලියට ගන්නවා කියන්නේ රුපියල් තුන් දාහක් විතර යන වැඩක්. වැද්දාගලට කලවානට යනකොට මේ ගාන වැඩි වෙනවා. හැබැයි දැන් වන සංරක්ෂණය හෝම් ස්ටෙයි විදිහට සංචාරක නිවහන් හදාගන්න මේ ගමේ මිනිස්සුන්ට ආධාර කරන්න පටන් අරන්. ඒක හොඳ වැඩක්. එහෙම ලක්ෂ 5ක ආධාරයක් ගත්ත කෙනෙක් තමයි දිනේෂ්. මිනිහා දැන් ඒකෙන් කාමරයක් හදලා ඒක සංචාරකයින්ට ඕපන් කරලා. ඒක හොඳ ආදායමක් අරගෙන එනවා. 071398025, දිනේෂ්ගේ මේ නම්බර් එකට කතා කළා නම් මේ ගමට ඇවිත් නවාතැන් අරං සිංහරාජේ මිහිර විඳින්න පුලුවන්. මේ ගම කියන්නේ කවියක්, ඒ සිංහරාජේ සහ මේ ගඟ හින්ඳා. හතු කාලෙට ගමට ආවොත් අතුරුහතු එහෙම කාලා කිතුල් රා බීලා යන්න පුලුවන්. මේ ගම නැවතිලා දූවිලි ඇල්ලෙන් නාලා සිංහගලට ඇවිදලා භාවනාමය සාද සති අගක් විඳින්න බැරිකමක් නෑ. කුඩවෙන් වැවගමට පාරට හැරිලා ඇවිත් නේ මම ආයි වමට හැරිලා කන්දට නැග්ගේ. කෙළින්ම ගියොත් වැවගම. ඒකත් පැරණිම ගමක්. මේ වැවගම වසමට තමයි පිටකැලේ ගම අහුවෙන්නේ.

කලවානේ ජයසේකර මහත්තයා කියන විදිහට කොක්කාවිට ගඟ හරහා වැටිලා තිබුණ කලවැලක් කල්‍ යනකොට මහත්වෙලා ගඟේ වතුර බැහැලා යන්න බාධාවක් වෙලා තියෙනවා. ඊට පස්සේ ගඟ දෙපැත්ත වැවක් වගේ වුණා කියලා තමයි කියන්නේ. හැබැයි ගමේ හිටිය ශක්තිවන්තයෙක් මේ වැල කපලා දානවා. වතුර අඩුවෙලා යනවා. ඒත් දිගටම ගමට වැවගම කියලා තමයි කියන්නේ. වැවගමට කිට්ටු කොක්කාවිට, කොක් ඕවිට කොක්කාවිට වුණා කියනවනේ!. අපිට ඕනෑනම් මෙහෙම ඉතිහාසය හොයාන මේ ගම්තුලාන දිගේලි කරන්න ඇහැකි. අපි ඉන්න මේ ඉසව්වේ ඉහළට නැග්ගොත් ගොන්ගල කඳු තුඩුවට උස මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4000ට වැඩියි. ආයි පල්ලමට බැහැලා කුකුළුකෝරළේ පහළ සීමාව වුණ ගලතුරේ කළුගඟ ගලන තැනි බිමට පැන්නොත් පහළම තැන අඩි 100ක් උස ඇති. ඉතිං මේ පටු සීමාවට මුලින්ම කියලා තියෙන්නේ දිග්ගම්පොත කියලා. සිතාවක දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලනේ කුකුළුකෝරළේ වුණා කියන්නේ. ඒ සිද්ධිය සනාථ කරන ජනකවිය ජයසේකර මහත්තයාගේ පොතෙන් උපුටලා මම මේ රස්තියාදුව නතර කරන්නම්..

දිග්ගම්පොත කෝරළයෙන් ගෙනා කුකුළු පොරකොටන් ඩ
කොක්හඬලා පටන්ගත්තු අනික් කුකුළු මරා ලන් ඩ
වික්මැති යුද කරපු නිසා රජ වාසල සතුටු වෙන් ඩ
එදා පටන් නම පැවැතිය කුකුළු කෝරළේ කියන් ඩ

කේ. සංජීව

aithiya

Similar Posts