පොලීසියට වරෙන්තුවක් මත මෙන්ම වරෙන්තුවක් නොමැතිවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට අනුව සැකකරුවකුව අත්අඩංගුවට ගැනීමට බලය ඇත. ඒ ගැන කිසිදු විවාදයක් නැත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාවද ඊයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් මත ඊයේ (04) හවස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එකී අත්අඩංගුවට ගැනීමේ නීත්‍යනුකූල භාවය හෝ නීතිවිරෝධී භාවය පිළිබඳ පසුව සාකච්චඡා කරමු. මේ කතා කරන්නේ අත්අඩංගුවට පත් වන මිනිසුන්ගේ පුද්ගලික ජීවිත වලට බලපෑම් වන ආකාරයෙන් සිදු වන ලැජ්ජාසහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳවය. එය ඊයේ රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී පැහැදිලිව දැකිය හැකි විය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබද ශ්‍රී ලංකා පොලීසියේ නිල නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ. එය පහත දක්වා ඇත. එකී නිල නිවේදනයට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වී ඇත්තේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබා ගත් ගිනි අවියක් හා ඒ සදහා භාවිතා කරන උණ්ඩ කිහිපයක් හා සැක කටයුතු ලේඛන කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය. එහි අසභ්‍ය ඩීවීඩී පට හෝ ලිංගික උපකරණ පිළිබඳ කිසිවක් සඳහන් නොවේ.

නමුත් මාධ්‍ය මුදලාලිලාගේ නාලිකා එය වාර්තා කලේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අසභ්‍ය ඩීවීඩී පට, ලිංගික උපකරණ හා නීතිවිරෝධී ගිනි අවිය හා උණ්ඩ සමග අත්අඩංගුවට ගත් බවටය.

මෙම අසභ්‍ය ඩීවීඩී පට හා ලිංගික උපකරණ පිළිබද කතාව තුළින් මාධ්‍ය මුදලාලිලා ටාගට් කරන්නේ ලංකාවේ බහුතරයක් ග්‍රාම්‍ය වැඩවසම් චිංතනයෙන් හෙබි ජනතාවයි. ගූගල් සෙනවුම් යන්ත්‍රයේ SEX යන වචනය වැඩි වශයෙන් ටයිප් කර ලංකාවට කප් එක ගෙනත් දුන්නේ මේ ජනතාවයි. ඔවුන් තම ලිංගික සතුට යන්න සගවාගෙන සිටිමින් පිටතට මහා සුචරිතවාදීන් ලෙස පෙනී සිටියි.

මේ ජනතාව ඉදිරියේ අත්අඩංගුවට ගැනීමට ඇත්තවශයෙන්ම රන්ජන් වල් මිනිහෙක් යැයි සමාජගත කිරීමට මේ ජඩ මාධ්‍ය හා මාධ්‍ය මුදලාලිලා ඊයේ උත්සහ කරන ලදී. විශේෂයෙන් මෙහිදී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමුවූ වීඩියෝ පට අසභ්‍ය ඒවා බවට මාධ්‍ය වාර්තා කරන්නේ ඒවා හමු වන විටය. එනම් ඒවා ප්ලේ කිරීමකින් තොරවය. වාර්තාකරණය කොතරම් ලැජ්ජා සහගතද යන්න එයින්ම පෙනේ.

මාධ්‍ය මුදලාලිලා සිය දේශපාලන ලකුණු දමා ගැනීම් වෙනුවෙන්  මේ සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ පුද්ගලික ජීවිත සමගයි. මේ මාධ්‍ය මුදලාලිලාත් මොවුන්ගේ මාධ්‍ය ආයතනවල ඇතුළාන්තයන්ගේ සුචරිතවත් බව ගැන කතා කිරීමට අවශ්‍ය නැත. ඒ කෙසේ වෙතත් මොවුන් පෝය දාට සුදෝ සුදු වතින් සැරසී රටේ නම ගිය භික්ෂූන් ලවා බණ කියවා, ධර්ම සාකච්ඡා කර, වෙසෙක් පොසොන් දින වලට අප අසා ඇති එමෙන්ම ඇතැම් විට ජීවිතේටවත් අප අසා නැති ධාතු ප්‍රදර්ශනය කර, රෑට රෑට පිරිත් කියා මහා උපාසකයන් ලෙස සමාජය ඉදිරියට පැමිණෙති.

මෙම මාධ්‍ය මුදලාලිලාට තවදුරටත් මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති ඇත්ත සේ පවසා මිනිසුන්ගේ පුද්ගලික ජීවිත සමග සෙල්ලම් කිරීමට පුරවැසියන් ලෙස අප ඉඩ දිය යුතු නැත. පොදු ජනයාගේ දේපළක් වන සංඛ්‍යාත භාවිතා කරමින් මෙලෙස අශීලාචාර ලෙස කටයුතු කරන මාධ්‍ය මුදලාලිලාටත් පාදඩ මාධ්‍යකරණය පිළිබඳ වහාම සංවාදයක් ආරම්භ කල යුතුය. මෙම සිදුවීම ඒ සඳහා ආරම්භයක් ලෙස යොදා ගත යුතුය.

නීතිඥ දුලාන් දසනායක

Similar Posts