මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25 ක් පාසල් වයස් සීමාවේ දරුවන් බව සෞඛ්‍ය කීට විද්‍යා සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ කීට විද්‍යා නිලධාරීන් දිවයින පුරා පාසල් තුළ සිදුකළ සමීක්ෂණවලදී අදාළ පාසල්වලින් සියයට 99 කින්ම මදුරු කීටයින් සොයා ගෙන ඇති බවයි.

කීට විද්‍යා නිලධාරීන් ලබාදෙන දත්ත නිසියාකාරව පරිශීලනය නොකිරීම, ක්ෂේත්‍ර නිලධාරීන් සමග එක්ව තීන්දු තීරණ නොගැනීම හා දූමායන කටයුතු සම්බන්ධයෙන් පවතින අවධානය අඩුවීම ඩෙංගු රෝග ව්‍යාප්තියට බලපා ඇති බව ද ප්‍රකාශ කරයි.

ඩෙංගු ව්‍යාප්තිය පාළනය සඳහා පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ දිනයේදී සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Similar Posts