ලංකාවේ අලි ඇතුන්ගේ ආදිතම සාධක ප්ල්යිස්ටෝසීන (Pleistocene) යුගය තෙක් දිවයන බව පී.ඊ.පී. දැරණියගල මහත්මා සඳහන් කරයි. මොවුන්ගේ පාෂාණීභූත කොටස් (පොසිල – Fossil) සබරගමුවෙන් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

රත්නපුර, පැල්මඩුල්ල සහ කුරුවිට ප්‍රදේශවල මැණික් පතල් ආශ්‍රයෙන් ලැබී ඇති ඉපැරණි පාෂාණීභූත සාධක අතර අලියාට ද අයත් අස්ථි ඇතැයි පැවසේ. පොළොව මට්ටමෙන් අඩි 30-40 ගැඹුරේ දී ලැබී ඇති මේ සත්ත්ව ශේෂ වසර දස දහස් ගණනක් පැරණි ඒවා වෙයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වෘත්තාන්ත අනුව ඇතුන් හා  අලියන් පිළිබඳ වංශකතානුගත තොරතුරු බහුල ය.

ඇතැම් විදේශිකයන්ගේ වාර්තා තුළින් ලැබෙන ප්‍රවෘත්ති අනුව ද එකල ශ්‍රී ලංකාවේ අලි ඇතුන් විදේශීය රටවල් වෙත අලෙවිකර ඇත. එමෙන්ම බහු උපයෝගිතා කාරණා සම්බන්ධයෙන් අලි ඇතුන් අල්ලා හීලෑකරගත් බව ද වාර්තා වෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙන අලි ඇතුන් විශේෂ ගණයේලා සැලකෙන සත්ත්ව කොට්ඨාශයකි. ජාතික, ආගමික, සංස්කෘතික, වාණිජ හා වෙනත් කරුණුවලට අදාළව මෙම සත්ත්ව විශේෂය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පසුබිම අනුව මෙම දිවයිනේ අලි – ඇතුන් සම්බන්ධව විවිධ පුවත් දක්නා ලැබේ. මෙගස්තිනිස්, ඔනසි ක්‍රීිටස්, ප්ලිනි, ඊලියන්, හර්පෝට්, රොබට් නොක්ස් සහ තවත් විදේශික පුද්ගලයින් විසින් වාර්තාකරනු ලැබ ඇති අලි ඇතුන් හා සම්බන්ධ විස්තරය බොහෝය. අතීතයේදී බහු කාර්යය උපයෝගීතා සඳහා යොදාගත් බවට සාධක පවති.

අලි ඇතුන් ඇල්ලීම, ගාල් කිරීම, පළවා හැරීම, ශ්‍රමය ගැනීම වැනි කරුණු වෙනුවෙන් අලි ඇතුන් මෙහෙයවා ගෙන තිබේ. අලි ඇතුන්ගෙන් ඇතිවන උපද්‍රව පාලනය කර ගැනීම සඳහා මන්තර භාවිතයෙන් විවිධ කෙම් ක්‍රම සිදුකළ බවට සාධක පවතී. අනුරාධපුර පිහිඹියගොල්ලෑව ගමෙන් අලි මන්තර පොතක් පසුගිය දිනක ලැබිණ. පැරණි අලි මන්තර පොත් ඉතා දුර්ලභ ය.

අලිමන්තරවල උපයෝගිතා කුමක් සඳහා ද? තමන්ගේ ආරක්ෂාව කෘෂි නිෂ්පාදනවල ආරක්ෂාව ඒ අතර ප්‍රධාන වෙයි. එමෙන්ම අලි ඇතුන් හීලැ කර ගැනිම සඳහා ද මන්තර වුවමනා කරයි. අලි මන්තර දන්නා ගොවියෝ අද ද රජරට සිටිනවා විය හැකිය. ගොවි ජනතාවගේ ආරක්ෂාවටත් භවභෝගවල ආරක්ෂාවටත් විවිධ උපක්‍රම යොදමින් වන අලි පලවා හැරීමට උතත්සාහ කරන බව වර්තමානයේදී දක්නා ලැබේ. ඇතැම් උපක්‍රම හිංසාකාරි වෙයි. පැරැන්නෝ හිංසාකාරි නොවන ක්‍රම භාවිතයෙන් අලි ඇත්තු පලවා හළ බවට ඇති සාධකයක් වශයෙන් පිහිඹියගොල්ලෑවෙ අලි මන්තර පොතේ අන්තර්ගතය පැහැදිලි කිරීම මෙහි අරමුණ වන්නේය.
එක් නිදර්ශනයක් මෙසේය.

නමඃ ශ්‍රී ඝණාය

ඕන් මහාමායදේවීඟන සද්ධර්ම දිෂ්ටි මහවිෂ්ණු නාරායනේ නමෝ නමඃ. මහාමායා උග්‍රතේජේන නාරායනේ නමෝ
නමඃ අලියට හා ඇතාටය ඇතින්නියට මා සරවන පවස මුඛායා ඕං උද්දංඩ බහිරවයා සිවායා
නමඃ රත්හදුන් හෙලහදුන් දෙක එක්කොට අටෝරාසියක් මතුරා තිලක දී අඬගසනු එත්.

මුඛ්‍ය පද ; රජ රට, පිහිඹියගොල්ලෑව, වන අලි, අලි මන්තර

උපුටා ගැනීම – කැලණිය විශ්වවිද්‍යාලය

http://repository.kln.ac.lk/handle/123456789/14372

වයි.කේ. තිස්ස බණ්ඩාර

 

Similar Posts