සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය.
අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms. යන යෙදුම නිර්මාණය වූයේ ඒ වෙනුවෙනි.
ජනවර්ගයන් වෙනුවෙන් අතීතයේදී භාවිතා කරන ලද ඇතැම් වචන දැන් භාවිතා කළහොත් අප ෆේස්බුක්හි බ්ලොක් වන්නේ ඒ වචන අශිෂ්ට නිසාය.
එසේම, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමේදී භාවිතා කළ යුත්තේ ඔවුන් කැමති යෙදුමක්ය. යම් ජාතියක් හෝ ආගමක් සම්බන්ධයෙන් ද තත්වය මෙසේය. භාෂාව හා සංස්කෘතිය තුළ අපහාසාත්මක වචන තිබේ නම් ඒවා ඉවත් කිරීමෙහි කිසිදු වරදක් නැත.
කණා, පොට්ටයා වැනි වචන පාවිච්චි කරන්නට අනෙක් අය කැමති වුණත්, එම තත්වයන් තුළ සිටින අය අකැමැති නම්, ඔවුන් කැමති පරිදි වෙනස්කම් කිරීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි. ශිෂ්ටත්වයට අකැමැති නම්, එයට හිනා වීමට ද හැකිය.
මා දන්නා පරිදි නම් ඇස් පෙනීම සම්බන්ධ ගැටලු ඇති ප්‍රජාවේ සංවිධාන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකඟ වී තිබෙන යෙදුම දෘෂ්‍යාබාධිත යන්නයි.
බීරා හෝ ගොලුවා යයි කියනවා වෙනුවට ශිෂ්ට සම්මතය වන්නේ ශ්‍රවණ හෝ කථනාබාධිත යන්නයි.
කොරා, සොත්තියා කියනවා වෙනුවට ශිෂ්ට යෙදුමක් තිබිය යුතුය. මොංගල්, මන්ද මානසික වැනි යෙදුම් වෙනුවට ද ශිෂ්ට යෙදුමක් අවශ්‍යය.
පේඩිගේ වැනි රජක කුලයට සම්බන්ධ වාසගම් තිබුණු අය ඒවා වෙනස් කරගෙන එවැනි භාවිතයන් මකා දැමූහ. භාෂාවේ, සංස්කෘතියේ තිබෙන නිසා ඒවා අනිවාර්යයෙන් භාවිතා කළ යුතු යයි ඒ වාසගම් තිබුණු අයට කිසිවෙකුට බල කළ නොහැකිය.
ග්‍රාම නාම ද මේ අන්දමින් ඕනෑ තරම් වෙනස් කරගෙන තිබේ. මාතලේ පැත්තේ තිබුණු නාවරගොඩ නම් ගමේ නම ඒ ගමේ අය නවරත්නගොඩ යනුවෙන් වෙනස් කරගත් බව මා අසා තිබේ. මෙවැනි උදාහරණ එමටය.
රැඩිකල් රාජ්‍ය නොවන සංවිධානයක් වන මොන්ලාර් ආයතනයේ කාර්යාලය මීට ටික කලකට ඉහතදී තිබුණු තැන ඉදිරිපිට වත්ත සක්කිලිවත්ත ලෙස හැඳින්විණි. මොන්ලාර් ආයතනය හෝ කවදාවත් තම ලිපිනයේ සක්කිලිවත්ත ඉදිරිපිට, රාජගිරිය ලෙස භාවිතා කළේ නැත.
ගොලුමඩම හැමදාමත් එහෙම විය යුතු නැත. කනා මුට්ටිය වාසනා මුට්ටිය වීම අගය කළ යුත්තේ ද එම පදනමින්මය. ඇස් බැඳ කිරි කවන අවුරුදු ක්‍රීඩාව අන්ධයාට කිරි කැවීම වීම අවශ්‍ය නැත.
ඉස්සර ගෙවල්වල ළමා මෙහෙකරුවෝ සිටියහ. දැන් එය නීති විරෝධී ක්‍රියාවකි. එම නීති විරෝධී ක්‍රියාව උත්කර්ෂයට නංවන ‘සකල බුජං කොට කලිසං’ වැනි සිංදු දැනුත් මොන්ටිසෝරි කොන්සට්වල, ළමා ගායක තරු වැඩසටහන්වල ගායනා කරන්නට තරම් එම ගීතය රැක ගත යුතු උරුමයක් නොවේ.
අශිෂ්ටත්වය උරුමයක් නොවේ. ඉස්සර ලාංකිකයෝ වැසිකිළි ගිය පසු දෑත් සෝදාගත්තේ නැත. එය උරුමයක් නොවන නිසා අප එය රැකගන්නට යන්නේ නැත.
– අජිත් පැරකුම් ජයසිංහ,
Praja.lk