රට තුළ විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමඟින් රට තුළ සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති.
උණ බට කපාගෙන ඇවිත් ඒවා ක්‍රමවත් ලෙස සකස් කරගෙන වෙසක් කූඩු නිර්මාණය කිරීම තුළින් ඉවසීම, ජීවිතය පිළිබඳ අවබෝධය, නිර්මාණශීලී බව හා සහයෝගීත්වය වැඩි දියුණු කර ගැනීමට දරුවන් සහ වැඩිහිටියන් සියලුම දෙනාට උපකාරී වන බවද ප්ලාස්ටික් වෙසක් කූඩුව තුළින් එම කිසිවක් නිසියාකාරව ලබා ගැනීමට නොහැකි බව වෙසක් කූඩු නිර්මාණකරුවන් මෙහිදී පෙන්වා දුන්හ.
රජයේ අවශ්‍ය බලධාරීන් මැදිහත් වී පිටරටින් ගෙන්වන මෙම වෙසක් කූඩු නවතාලීමට කටයුතු කරන ලෙසද ඔවුහු මෙහිදී ඉල්ලීමක් කර සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කේ.බී. ගාමිණී සිල්වා මහතා මෙසේ පැවසීය. මම දැන් වසර 20කට වැඩි කාලයක් තිස්සේ උණ බටවලින් වෙසක් කූඩු නිෂ්පාදනය කරනු ලබනවා, මම මෝටර්මැකෑනික් රස්සාව තමයි කළේ. දැන් අසනීප තත්ත්වය හේතුවෙන් තමයි මේ කූඩු හදන්නේ. දැන් අමුද්‍රව්‍ය හොයා ගන්න ලේසි නැහැ. සාලියපුර පැත්තේ ගිහිල්ලා තමයි ඇළ මාර්ගවල ගමන් කරලා කඩන් වැටුණු උණ බට තමයි හොයා ගෙන එන්නේ. ඒවා මැරිලා කඩන් වැටිලා දිරච්ච ගස්. ඒවා අරන් එන්නේ ලොරි කුලී දීලා. අරන් ආවට පස්සේ කම්බිවලට රබර්වලට වෙනම මුදලක් වැය වෙනවා. ඒ බට කෑලිවලට කපා ගන්නේ වඩු මැෂින් එකකින්. එතනටත් කුලියක් දෙන්න ඕනේ. මොකද මං අවුරුද්දකට කූඩු 5000කට වැඩිය හදනවා. අතින් කපන්න ගියොත් වෙනම කාලයක් ගත වෙනවා. හැබැයි දැන් නම් කූඩු පන්දාහක් විකුණ ගන්න බෑ. ඒ කාලේ තමයි විකිණුවේ.
ඉස්සර නම් කොළ අලවලා තමයි විකුණන්නෙ. දැන් ඕඩරයක් දුන්නොත් විතරයි සවුකොළ අලවන්නෙ. මොකද ඉස්සර අපි ටිෂූ කොළයක් මිලදී ගත්තේ සත පනහයි, රුපියලයි, එකයි පනහක මුදලකට දැන් කොළයක් රුපියල් දහයයි, දොළහයි. එහෙම අලවලා මිලක් නියම කරන්න බැහැ. අපේ මහන්සියට පමණක් සුළු මුදලක් තියාගෙන විකුණනකොට ඊට දෙගුණයකටත් වඩා අඩු මුදලකින් වෙළෙඳ පොළේ ප්ලාස්ටික්, ආනයනික කූඩු වර්ග බොහෝමයක් විකුණන්න තියෙනවා.