අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළා.

ඊයේ පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.විදුහල් භූමියේ පිහිටි බුදු මැදුර වෙත ගොස් මල් පූජාකර ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා.

නව පන්තිකාමර නිරීක්ෂණය කිරීමට ද එක් වු ජනාධිපතිවරයා සිසු දරුවන් සමඟ සුහද කථා බහක ද නිරත වුණා.අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්වුණා.

මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබුණා.ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළා.රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට සීග්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද සඳහන් කළා.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

“දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවී කටයුතු කර තිබෙනවා.

අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි.

අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි.

සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

මම භාරගනු ලැබුවේ බංකොළොත් රටක්.

ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා.

ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා.

දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි.

දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළග කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා.

එම රැස්වීමෙන් පසු අපට බංකොළොත්භාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවා.

වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවත් සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා.

තව වසර දෙකකින් විරැකියාව 5%ක් දක්වා අඩු කරගත යුතුයි.

ඒ වගේම අපේ ආදායම් ද වැඩිකර යුතුයි.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ රට දියුණු කළ හැකිවන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණයි.

අපි අලුතින් සිතිය යුතුයි.

එහිදී අලුත් තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.

ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි.

සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්.

අපට නැවතත් එම යුගයකට යන්න බැහැ.

මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම වෙළඳ කලාපයක් සහ ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට බිංගිරිය ප්‍රදේශයේ අක්කර දාහක් ලබාගෙන තිබෙනවා.

ඒ වගේම ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එවිට සංචාරක ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මේ ප්‍රදේශයට ලැබෙනවා.

ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නගරයක් මාදම්පේ ප්‍රදේශයේ ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම රජය ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අනුව ගම්මානවලට නවීන කෘෂිකර්මාන්තය හදුන්වා දෙනවා වගේම එම කටයුතු කරගෙන යාමට තරුණ තරුණියන්ට අවශ්‍ය මුදල් ලබා දෙනවා.

ඒ සමඟ ධීවර කර්මාන්තය ද දියුණු කළ විට මේ ප්‍රදේශයේ නව ආර්ථිකයක් ඇති කළ හැකියි.

අප 1977 දී ගම්පහ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ලබා දුන්නා. දැන් එම වැඩසටහන මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව හලාවත සිට කුලියාපිටිය දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා.

රට දියුණු කිරීමට නම් අප අලුත් මාර්ගයක ගමන් කළයුතුයි.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කර, රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා.

ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා.

මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ.

කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලුදෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළයුතුයි.”

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

“තාක්ෂණවේදය විෂය ධාරව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලෙසත් එය ලබන සතිය වනවිට අමාත්‍යාංශ මට්ටමින් සම්මත කර දීමට කටයුතු කරන බවටත් මා ඔබගේ විදුහල්පතිනියට පොරොන්දු වුණා.

ඊට අදාළ විද්‍යාගාර ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා.

ප්‍රායෝගික පරීක්ෂණ නාත්තන්ඩිය ධම්මිසර විද්‍යාලයෙන් සිදු කර ගැනීමට අවස්ථාව ලබා දිය හැකියි.

ඊළඟ සති දෙක තුළ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා.

එම ගුරු පුරප්පාඩු මේ පළාතෙන්ම පියවීමට කටයුතු කරනවා.

දරුවන් 300කගෙන් ආරම්භ කළ මෙම පාසල මේ වන විට දරුවන් 3000ක් අධ්‍යාපනය ලබන පාසලක් බවට පත්කිරීම ගැන සතුටු වෙනවා.

විද්‍යාපිඨ ජාතික අධ්‍යාපන ආයතනය බිහි කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීයි.

එතුමා අධ්‍යාපනයට කළ සේවාව ප්‍රශංසනීයයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කිසිම දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගය අසමත් කරන්නේ නැහැ.

ඔවුන්ට අනාගතයට සරිලන දැනුම ලබාදීමට අප කටයුතු කරනවා. කළුලෑල්ල වෙනුවට ඩිජිටල් ලෑල්ලක් ලබාදීම සුහුරු අධ්‍යාපනය නොවෙයි.

එතනින් එහා ගිය වැඩපිළිවෙළක් අපට තිබෙනවා.

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමඟ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර පාසල්ද ජාතික පාසල්ද කියා වෙනසක් නොමැතිව මේ කටයුතු සිදු කරනවා.

අධ්‍යාපනය සඳහා වෙන්වූ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා.

අධ්‍යපනය ජාත්‍යන්තරකරණය කිරීමට මෙමඟින් හැකියාව තිබෙනවා.”

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා,

“පුත්තලම දිස්ත්‍රික්කයේ එකම බෞද්ධ පාසල වූ මෙම බෞද්ධ බාලිකා ජාතික පාසලේ අඩුපාඩුවක්ව තිබූ පාසල් ගොඩනැගිල්ලක් ලබාදීම සම්බන්ධව සතුටට පත් වෙනවා.

මහජන නියෝජිතයෙක් වශයෙන් එදා සිට මේ දක්වා මේ පාසලට උදව් කිරීමට හැකිවීම පිළිබඳවද සතුටට පත් වෙනවා.

එදා මේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට හැර ගියේ නෑ.

අභියෝග වලින් පැන ගියේ නැහැ.

රට කෙරෙහි අවිශ්වාසයක් තිබූ ජනතාවට විශ්වාසයක් ඇති කිරීමට මේ වන විට ජනාධිපතිතුමාට හැකියාව ලැබී තිබෙනවා.

එම කාර්යභාරය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රණාමය ජනාධිපතිතුමාට හිමිවෙනවා.

එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි කාලයේ ගත් තීන්දු තීරණ නිසා අද රටේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීමට හැකිව තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති වත්මන් ක්‍රමවේදයම ඉදිරියට යා යුතු බව සමාජයේ මතයක් ඇතිව තිබෙනවා.

මේ ක්‍රමයද බිඳ වැටුණොත් රට යළි අගාධයට ඇද වැටෙනවා.”

පළාතේ මහා සංඝරත්නය ද, වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක බුද්ධික සේසත්පුර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර, හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් රත්නායක, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් නයනා කාරියවසම්, විද්‍යාලයේ විදුහල්පතිනි දුලිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Similar Posts