කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම කිරීමට ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කාර්යංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙලෙස උපදෙස් දුන් අතර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ගැනීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
පසුගිය කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හා ගොවිජන විශ්වාසය පහළ වැටීම සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් ඇමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධව අවධානය යොමු කළ ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවදුරටත් විවිධ අංශ නිර්මාණය කරමින් පුළුල් කරනවාට වඩා දැනට තිබෙන සියලු අංශ ශක්තිමත් කරමින් ගොවි ජනතාවට පුළුල් සේවාවක් දීමට හැකි බව සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව බෝග විශේෂ විශාල ප්‍රමාණයක් හඳුන්වා දීම, නව කෘෂි තාක්ෂණික ක්‍රම ගොවි ජනතාව අතරට ගෙන යෑම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන වැඩසටහන ආදී වැඩසටහන් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම, විදේශ අරමුදල් මත ක්‍රියාත්මක කෘෂිකාර්මික වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම, කෘෂි පර්යේෂණ පුළුල් කිරීම, ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.
කෙසේ වුවද ගොවි ජනතාව, පාරිභෝගිකයා මෙන්ම අපනයනය ඉලක්ක කර ගනිමින් යහපත් කෘෂිකාර්මික ප්‍රවේශයක් සඳහා සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසත්, එකම ක්ෂේත්රයේ අංශ කිහිපයක් පිල් බෙදී කටයුතු කිරීම නිසා ගොවි ජනතාව මෙන්ම රටත් අමාරුවේ වැටීමට ඉඩ නොතැබිය යුතු බවත් ඇමැතිවරයා මේ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකිර්ති, වැඩ බලන අධ්යක්ෂ ජනරාල් කමනී රණතුංග මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.