කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11ක් කප්පම් ගැනීම උදෙසා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතී. එකී නඩුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය පෙබරවාරි 06 වන සිකුරාදා මෙම නඩුව විමසීමට ගත් අවස්ථාවේදීත් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. මෙලෙස ඔහු අධිකරණය මග හැරියේ 3 වන වරටය.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් පොලීසියට හොයා ගන්න බෑලු
මෙහිදී වැලිකඩ පොලීසිය ප්‍රකාශ කලේ සිතාසි භාර දීමට ඔහු පදිංචි බැද්දගානේ පිහිටි නිවසට ගියත් එම නිවස වසා දමා තිබූ බවත් ඔහු එහි නොසිටි බවත්ය. එම කරුණ අධිකරණය හමුවේ පෙනී සිටි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාද තහවුරු කළේය. කිරුළපන ප්‍රදේශයේද ඔහු පදිංචි නිවසක් ඇති නමුත් එම නිවසද වසා දමා තිබෙන බව රහස් පොලීසියද ප්‍රකාශ කළේය.
නීතිපතිගේ කණගාටුව
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිටින එකම අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලය උසුලන්නා වන කරන්නාගොඩ රාජ්‍ය උත්සව වලටත් සහභාගී වන අයෙක් බැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් වන රහස් පොලීසියට ඔහු සොයා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පොලිස්පතිත් සිටින නිදහස් උත්සවේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්
පෙබරවාරි 06 වනදා වන විටත් පොලීසියට සොයා ගැනීමට නොහැකි වී සිටි හෝ අධිකරණය දැන දැනම මගහැර සිටි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සිරිලක සුපිරි ප්රභූවරයෙක් ලෙස 72වන නිදහස් උත්සවයට පරිවාර රථයක්ද සමගින් පැමිණියේය. ඔහුව හමුදාවේ මේජර් ජනරාල්වරයකු විසින් පිළිගත්තේය. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා අසළ පීඨිකාවේ විය. අධිකරණ ඇමතිවරයාද අසළ පීඨීකාවක නිදි නැතිව සිටියේය. ඔහු පැමිණීමෙන් ටික වේලාවකට පසුව පොලිස්පතිවරයාද අභිමානවත් ලෙස උත්සවයට පැමිණෙන ලදී. ඊට ටික වේලාවකට පසු ගරු අග්රවිනිශච්යකාරවරයාද සැපත් විය. මේ සියලු කටයුතු භාර රයේ නීතියේ පාලනය සුරක්ෂිත කිරීමට කැප වී සිටින බව දිව්ර දිව්රා කියන ජනාධිපතිවරයාද සැපත් විය.
ඉහළ නිලයක වගකීම
වසන්ත කරන්නාගොඩ මහතා ලංකාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකි. ඔහුට හිටපු ජනාධිපතිවරයාගෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් සුවිශේෂී නිලය ලැබුණි. ඒ නිලය ඇතැම් විට මින් පසු නාවික හමුදාවේ කිසිවෙකුට නොලැබෙනු ඇත. එවන් වගකිවයුතු තනතුරු දරා ඇති හා දරණ පුද්ගලයකු හැසිරිය යුත්තේ මේ ආකාරයටද? ඔහුට අධිචෝදනා ගොනු කර ඇති බව ඔහු හොඳින්ම දනී. එය මේ රටේ සියලු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වී ඇත. ඔහුට සිතාසි භාර දීමට නොහැකි වී ඇති බවත් ඔහු හොඳින්ම දනී. එසේ නම් ඔහු කළ යුත්තේ වගකිව යුතු පුද්ගලයකු ලෙස ගරු අධිකරණයට හිස නමා එකී නඩු විභාගය සඳහා ඉදිරිපත් වීමයි.
ශ්‍රී ලාංකිකයන් ලෙස ලැජ්ජා විය යුතුය.
අධිකරණය මේ ආකාරයට මගහරින පුද්ගලයන් පරිවාර රථ මගින් ගෙන්වා නීතිපතිවරයා, ගරු අගවිනිසුරුවරයා, පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා ඇතුළු නීතියේ පාලනය සුරැකීමට දිව්රා සිටින සියලු ප්‍රභූන් සහිතව 72 වන නිදහස් උළෙළ සැමරීමට සිදුවීම ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් ලැජ්ජා විය යුතුය. මෙවන් පුද්ගලයන් නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිකයන් බවට පත් කර ජනාධිපතිවරයා වීරෝදාර කතාවක් කියමින් නීතියේ පාලනය සුරකින බව කියයි. මෙම තරුණයන් 11 දෙනාගේ පැහැරගැනීම හා අතුරුදහන් කිරීම මගින් ලංකාවේ කීර්තිනාමය බිංදුවට බැස්සේය. ඒ සඳහා යුක්තිය ඉටු කිරීමට ප්‍රමාද වීම මගින් ලංකාවේ කීර්තිනාමය බිංදුවෙනුත් පල්ලෙහාට බැස්සේය. LTTE ලේබලය ගසා යට ගැසීමට උත්සහ දැරුවත් මෙම තරුණයන් LTTE සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැති බව දැන් හොදින්ම පැහැදිලිය. මොවුන්ගේ අම්මලා තාත්තලාගේ පපුවනැවත නැවත පිච්චෙන්නේ එකී නඩුවේ අධිචෝදනා ගොනු වී ඇති පුද්ගලයන් අධිකරණයත් මගහැර මෙසේ වැජඹෙන විටය. බෞද්ධ කමක් ඔලුවේ තියාගෙන හිඳිමින් අම්මලාගේ වේදනාවට සංවේදී වීමට ශ්‍රී ලංකාවේ බහුතර බෞද්ධයන්ද ලැජ්ජාවට පත් විය යුතුය.
ජනාධිපතිවරයා පද්ක්කම් පැළදගෙන පැමිණීමෙන්වත්, ආචාර පෙළපාලියට හිසනමා ආචාර කිරීමෙන්වත්, මහා විශිෂ්ට දේශනා දීමෙන්වත් නිදහස් උත්සවයක් හා ජාතියක් උසස් වන්නේ නැත. මෙවන් සිදුවීම් වලින් සිදුවන්නේ නිදහස් උත්සවය පමණක් නොව මුලුමහත් ජාතියම අපකීර්තියට හා ලැජ්ජාවට පත් වීමයි. කණගාටුවට කරුණ නම් බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන් අම්මලාගේ වේදනාවටවත් සංවේදී නොවන ලැජ්ජාව පැත්තකින් තබා ඇති බොරු ශෝ වලින් උද්දාමයට පත්වන පිරිසක් වීමයි.
නීතිඥ දුලාන් දසනායක.
උපුටා ගැනීම aithiya.lk