වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා‍:

“අපේ ජීවිත කාලය තුළ පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය අර්බුදයකට අප මුහුණ දුන්නා. මූල්‍ය අර්බුදය ජය ගැනීමේ කර්තව්‍යයට සහ අභියෝගයට ජනාධිපතිවරයාත් ඇමැති මණ්ඩලය ඇතුළු මමත් මුහුණ දුන්නා. බොහෝ මහජන නියෝජිතන් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒමට මූලික වීම අර්බුදය විසඳමට ඉහළ ශක්තියක් වුණා.

“එදා අපි මුහුණ දුන් දුෂ්කරතා යාපනේ කම්කරුවන් දන්නවා. ඔවුන් පියවරෙන් පියවර ඒ අර්බුදය විසඳීමට සහාය වුණා.පසුගිය මාස 24 තුළ ආර්ථික අභියෝගය ජය ගැනීමට රටවැසියන්ගෙන් ලැබුණු සහය නිසයි ජාත්‍යන්තරව මේ විශ්වාසය ඇති වී සාධනීය වර්ධනයක් අත් කරගත්තේ. වැඩි යමක් සාක්ෂාත් කරගැනීම සඳහා අප යම් රාමුවකට අවනත විය යුතුයි.

“පසුගිය දින කීපයේ කොළඹ යම් යම් තත්ත්වයන් ඇති වුණා. එහෙත් යාපනේ මිනිස්සු ඒවාට සම්බන්ධ වුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාට වගේම ගුරුවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සුපුරුදු පරිදි රාජකාරියට ගොස්, දෛනික රාජකාරි ඉටු කොට සමාජය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළා. අප පත්වීමක් භාර ගන්නා විට වගකීමකට බැඳෙනවා. ඒ සම්බන්ධයෙන් අපට යුතුකමක් තියෙනවා. අප අපේ අයිතිවාසිකම් ඉල්ලා සිටිය යුතුයි. එහෙත් සාමකාමිව, අපගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමට අපට පුළුවන්. එදා ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ පියා සමඟ මගේ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ඉතා සමීපව කටයුතු කළා. යාපනේ නායකයන් ආශ්‍රය කරලා, පස්සේ කාලෙක මැති ඇමැතිවරුන් වුණා. හිතවතුන්ගේ සහයෝගයෙන් අයිතීන් රැකගෙන අධ්‍යාපන ක්‍රමය ගොඩනැඟුවේ කොහොමද කියලා එදා ඉතිහාසයේ ලියැවිලා තියෙනවා.”

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහත්ම මහත්මීන් සහ උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීහු සහ පත්වීම්ලාභීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

Similar Posts