කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පවත්නා රජය කිසි විටෙක කිසිදු මාධ්‍යකරුවෙකුට තර්ජනය සහ වද හිංසා කර නැතැයිද, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සලසාදෙන ලෙස අද පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තර්ජන ගර්ජන පවත්නා හෝ එවැනි දෙයකට මුහුණදීමට සිදුවෙතැයි සිතන ඕනෑම කෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැමීමට හැකි යැයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා ඒ අනූව පොලීසිය සහ ආරක්ෂක අංශ විසින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවද රජයකට කළ හැක්කේ එය බවද අවධාරණය කළේය.

නමුත් ප්‍රචණ්ඩත්වයේ උරුමකරුවන්ට එය හැසිරවීම පිළිබඳව බලය ලබාදෙන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් දෙනවාද නැතිද යන්න ප්‍රබුද්ධ ජනතාව මැතිවරණ වලදී තීරණය කළ යුතු යැයි තමා සිතන බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

Similar Posts