parliament-of-sri-lanka

ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන මඟ දැක්මක් සහිත පනතක් ලෙස මෙම පනත හැඳින්විය හැකි බව සියඹලාපිටිය මහතා කීය.

නව පනතින් අපේක්ෂා කරන මූලික කරුණු පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

”මෙම පනතින් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සපුරාලීමට වැඩි බරක් තබා තිබෙනවා. ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් රජයේ ණය තිරසරභාවය ඇතිකරලීමට මින් අරමුණු කොට තියෙනවා.

ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% දෙස් විදෙස් ණය බරකින් පසුවෙනවා. එය 95%ක් මට්ටමට අඩු කර ගැනීමට ඉලක්ක කොට තිබෙනවා. දැනට රජය ගෙවිය යුතු විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 9.4%ක්. එය 4.5% දක්වා අඩු කර ගැනීමට ඉලක්ක කර තිබෙනවා.

මෙපමණක් නොව සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර 5% ඉක්මවා වර්ධනය කිරීමට ඉලක්ක කොට තිබෙනවා. විරැකියාව අඩු කර ගන්නා අතර ආර්ථික දියුණුවට කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවා ගැනීම ඉලක්කයයි. 2025 වන විට කාන්තා ශ්‍රම බළකායේ දායකත්වය 25% දක්වා ද වසර 2030දී එය 40% දක්වා ද වසර 2040දී එය 50% දක්වා ද වැඩි කර ගැනීමට මෙම පනතින් ඉලක්ක කර තිබෙනවා.”

Similar Posts