සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස එම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මෙම නඩුව පවරා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (U) (1) වගන්තිය යටතේය. පෙත්සමේ වගඋත්තරකරුවන් නව දෙනා අතර මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ලැයිස්තුගත කර ඇත..

එම කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සුදේශ් නන්දිමාල් ද සිල්වා පෙත්සම්කරු තර්ක කරන්නේ සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වී ඇති බව හා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උල්ලංඝනය කිරීමක් බව සහ 14 (1) (අ). වැනි ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇතැම් සිර දඬුවම් විඳිමින් සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි වේ. නමුත් වසර දෙකකට අඩු සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්, 89 වැනි වගන්තියේ කොන්දේසිවලට යටත් නොවන සිරකරුවන් සහ කොන්දේසි විරහිත සමාව ලැබූ සිරකරුවන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. එසේ තිබියදීත්, මැතිවරණ සඳහා ඔවුන්ගේ සහභාගීත්වය පහසු කරවන යාන්ත්‍රණයක් දැනට නොපවතියි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024 ජූලි 17 වනදා වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් 30,039 ක් සිටින අතර, රිමාන්ඩ් සිරකරුවන් 19,486 ක් සහ දඬුවම් නියම වූ සිරකරුවන් 10,553 ක් සිටින බව වාර්තා වේ. රිමාන්ඩ් සිරකරුවන් මුළු බන්ධනාගාර ජනගහනයෙන් 64.7% කි. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති මෙම සියලු පුද්ගලයන්ට පවතින පද්ධතිමය දුර්වලතා හේතුවෙන් මෙම අයිතිය ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මෙම ගැටලුව ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම පෙත්සම මගින් අවධාරනය කරන අතර, සුදුසුකම්ලත් සිරකරුවන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බැහැර කිරීම මැතිවරණවල ඒකාග්‍රතාවය වලකන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල කනස්සල්ලක් ඇති කිරීමට සමත් බව පවසයි. සුදුසුකම්ලත් සිරකරුවන්ට තම ඡන්ද අයිතිය භාවිත කිරීමට ඉඩ සැලසෙන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කරන ලෙස එම කමිටුව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

චේතනා ගෝමිස් විසිනි

aithiya

Similar Posts