namal

සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු මෙසේද කීවේය.

‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ පිරිසක් ස්වාධීන වුණා. මෙතෙක් කල් කිව්වෙ රාජපක්ෂලා ඉන්න හින්දා දමිළ මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරයාට උදව් කරන්නෙ නැහැ සජබෙ මන්ත්‍රිවරු උදව් කරන්නේ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමාට අපි කියන්නේ සජබෙට කතා කරලා මන්ත්‍රිවරුන් ගන්න දෙමළ සන්ධානයට කතා කරලා රාවුෆ් හකීම්ට බදියුදීන්ට කතා කරලා ඒ අයගෙ සහය ගන්න. මෙතෙක් කල් කිව්වෙ වමේ සහ සිංහල බෞද්ධ පදනම නිසා ඒ අය එන්නෙ නැහැ කියලනේ. දැන් ඒ අයට පුළුවන් අනෙක් කට්ටියත් එකතු කරගෙන යන්න.

ඉලක්කම් අපිටත් පෙන්වන්න පුළුවන්. ඒ පින්තූරවල ඉන්න අය මේ පැත්තෙ ඉන්න බව දකින්නත් පුළුවන්. අපේ ගනුදෙනුව තියෙන්නෙ ජනතාව එක්ක. අපිත් ඉලක්කම් පෙන්වන්න ගියොත් අපිත් ඒ අයගෙ තත්ත්වයට පත් වෙනවා. මැතිවරණය මෙහෙයවනකොට බලන්න පුළුවන් කවුද ඉන්නෙ කවුද නැත්තෙ කියලා.

මේ රටේ දේශපාලකයන් ගැන තියෙන වැරදි මතය සමහර දේශපාලකයන්ගෙ හැසිරීමෙන් ජනතාවට තහවුරු කරනවා. එහෙම බැලුවම අපිට ගහලා ගෙවල් ගිනි තියන එක සාධාරණයි මේවා දැක්කම. ඒ නිසා වෙන්න ඇති දෙසිය විසිපහම එපා කියන්නේ.’’

Similar Posts